ඊයේ (10) දින පාර්ලිමේන්තුවේ උද්ගත වූ උණුසුම්කාරී තත්වය හේතුවෙන් එය 21 වැනිදා දක්වා කල් තැබීමට කථානායකවරයාට සිදුවිය.
ඒකාබද්ධ විපක්ෂයට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කරුණු දැක්වීමට කථානායකවරයා ඉඩදීමට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් ඉවත්වීම හේතු කොටගෙන මෙසේ පාර්ලිමේන්තුව කල් තබා ඇත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව කථානායකවරයා හමු වූ ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර හා පියල් නිශාන්ත යන මන්ත්‍රීවරුන් තම පැමිණිල්ල ඉදිරිපත්කර තිබේ.
එහිදී කථානායකවරයා පෙන්වා දී ඇත්තේ ඒකාබද්ධ විපකෂයට මේ පැන නැගී ඇති තත්වය පිළිබඳව එජනිස නායකයන් සමඟ සාකච්ඡා කිරීමට හැකි බවය.
එහිදී වාසුදේව නානායක්කාර මහතා පෙන්වාදී ඇත්තේ ඔවුන් සමඟ සාකච්ඡා කිරීම කිසිසේත්ම ඵලදායී නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයා විසින් ලබාදෙන සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වන බවත්ය.
” අද පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම්කාරී අවස්ථාවේ මා දුටුවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ලොබියේ හිටපු එජාප මන්ත්‍රීවරුන්ට කථා කරමින් සභා ගරභයට එවනවා ‘අන්න කථානායක ඉඩ දෙනවා. විරුද්ධ වෙන්නේ නැද්ද ?’ කියමින් එයා ඔබතුමාට විරුද්ධවයි ඒ අයව මෙහෙයුවේ” පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කථානායක වරයාට පැමිණිල්ලක්ද සිදුකර සිටියේය.
” මෙතෙන්දි අපි වෙනුවෙන් සාධාරණ තීන්දුවක් ගත හැක්කේ ඔබතුමාට පමණයි.” රොහිත අබේගුණවර්ධන මහතා සඳහන් කලේය.
” මම සලකා බලා සුදුසු පියවර ගන්නම් ” කථානායක වරයාගෙන් ඒකාබද්ධ විපකෂයේ නායකයන්ට ලැබුනේ එවැනි පිලිතුරක්.