FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වෙයි…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරු 2.00ට රැස්වීමට නියමිතව තිබේ.

එ අනුව අද සිට අඛණ්ඩව රැස්වී ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට තීරණය වී ඇති බව පැවසේ.

බලය බෙදාහැරීම සම්බන්ධයෙන් වන යෝජනා සහ දේශපාලන පක්ෂවල යෝජනා සහ අදහස් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට අවශ්‍ය යෝජනා දෙන කමිටු හයේ වාර්තා මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත භාර දී ඇත.

අනුකමිටු හයේ ඇතැම් කමිටු වාර්තා අතර පරස්පර විරෝධතා පවතින බැවින් එම පරස්පර කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු තීරණය ඉදිරියේ රැස්වන අවස්ථාවලදී අවසන් කිරීමට අපේක්ෂිත බව පැවසේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අවසන් එකඟතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ වාර්තාවක් ලෙසෙ වන අතර එම වාර්තාව පදනම් කර ගනිමින් පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වවල අදහස් ගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට නියමිතය.