FAST NEWS

24×7 Around the Globe

නාමයෝජනා කටයුතු අද මධ්‍යහ්න 12.00 න් අවසන්.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා කටයුතු අද මධ්‍යහ්න 12.00 න් අවසන්  වන අතර උදෑසන 08.30 සිට සියලු දිස්ත්‍රීක් ලේකම් කාර්යාලවලදී නාමයෝජනා භාරදීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

පසුගිය සිකුරාදා දිනය වන විට පිළිගත් දේශපාලන පක්ෂ 47 ක් නාමයෝජනා පත්‍ර භාරදී තිබූ අතර ස්වාධීන කණ්ඩායම 111 ක් නාමයෝජනා පත්‍ර භාරදී තිබූ බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, යහපාලන සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ ලෙස ගිවිසුම් ගත වූ එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ අද දිනයේ දිවයිනේ සියලු දිස්ත්‍රීක්ක සඳහා නාමයෝජනා ලබාදීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර නාමයෝජනා භාරදීමෙන් අනතුරුව පැය එක හමාරක කාලයක් විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව හිමි වන බව නියෝජ්‍ය මැතිවරණ කොමාසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේය.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමේ අවසන් දිනය වන අද දිනයේ කොළඹ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ.

අද උදෑසන 07 සිට පස්වරු 03 දක්වා කාලය තුළ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

බේස්ලයින් පාර, හැව්ලොක් පාර විදුලි සංඥා මංසන්දියේ සිට නාරාහේන්පිට හන්දිය දක්වා, පාක් පාරේ සිට ඇල්විටිගල මාවත විදුලි සංඥා මංසන්දිය දක්වා සහ නාවල මංසන්දියේ සිට බේස්ලයින් පාර නාරාහේන්පිට මංසන්දිය දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.