FAST NEWS

24×7 Around the Globe

රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගේ ප්‍රකාශය අද බැදුම්කර කොමීසමට..

මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත්ව ඇති ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළ දිනය පිළිබඳ රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගේ ප්‍රකාශය අද (27 දා) මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පරික්‍ෂා කිරීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ ගැසට්‌ පත්‍රය පිළිබඳ මතභේදාත්මක තත්ත්වය ඇති වූයේ ඉකුත් බ්‍රහස්‌පතින්දා (23 දා) එම කොමිසමේ සාක්‌ෂි විභාගය අතරතුරය.

ඒ අනුව එම ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළ දිනය පිළිබඳව රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්‌ ලබාගෙන අද උදේ 10.00 ට යළි කොමිසම රැස්‌වීමට නියමිතය.

එම ප්‍රකාශය රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගෙන් ඉකුත් 23 දා රහස්‌ පොලිස්‌ නිලධාරීන් විසින් ලබාගත් අතර එය අද කොමිසමට ඉදිරිපත් කිරීමෙන් පසු එම ගැසට්‌ පත්‍රයේ මුද්‍රණය කළ දිනය පිළිබඳ ඇතිවූ මතභේදකාරී තත්ත්වය නිරාකරණය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ගැසට්‌ පත්‍රය පිළිබඳ ගැටලුව නිසා පසුගිය 23 දා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතාගෙන් සාක්‍ෂි විමසීම අත්හිටුවන ලද අතර අද යළිත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මුදල් ලේකම්වරයාට නියම කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි (සභාපති) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න එස්‌. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේලුපිල්ලේ යන මහත්වරුන් මෙම කොමිසමේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති.