FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත යැමට කිසිදු අවශ්‍යතාවක්‌ නෑ – මහ බැංකු අධිපති

භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව මහ බැංකු අධිපතිවරයාට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත යැමට කිසිදු අවශ්‍යතාවක්‌ ඇතැයි තමා නොසිතන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඊයේ (22 දා) දෙවැනි දිනයටත් මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් කීවේය.

තමා අධිපති වී ගෙවී ගිය මාස හතක කාලය තුළ තමා ඊට අදාළව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත නොගිය බව ද එසේ යැමට තමාට අවශ්‍යතාවක්‌ ඇතිවූයේ නැති බවද මහ බැංකු අධිපතිවරයා රජයේ නීතිඥවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

ටෙන්ඩර් මණ්‌ඩලය ගන්නා තීරණය අවසාන අනුමැතිය සඳහා මහ බැංකු අධිපතිවරයා වෙත ලැබෙන බවද ආචාර්ය කුමාරස්‌වාමි මහතා කීවේය.

බැඳුම්කර නිකුත් කරන ක්‍රමවේදය තීරණය කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට කාර්ය භාරයක්‌ ඇති බවද ඒ සම්බන්ධයෙන් මුදල් මණ්‌ඩලය තීරණ ගන්නා බවද එහිදී මහ බැංකු අධිපතිවරයා කොමිසමට කියා සිටියේය.

මහ බැංකුවේ නිලධාරීන් ඉතා හොඳ නිලධාරීන් බවද වැරදි කරන නිලධාරීන් ඉතා සුළු පිරිසක්‌ සිටිය හැකි බවද පෙන්වා දුන් අධිපතිවරයා කීවේ යම් නිලධාරියෙක්‌ වරදක්‌ කර ඇති බව ඔප්පු වුවහොත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි.

බැඳුම්කර ගනුදෙනුවලට අදාළව අභ්‍යන්තර පරීක්‍ෂණය සිදුවෙමින් තිබෙන බවද ඇතැම් පරීක්‍ෂණ සඳහා පොලිස්‌පතිවරයාට දැනුම් දී ඇති බවද හෙතෙම කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රසන්න එස්‌. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේළුපිල්ලේ යන මහත්වරු මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර්¨ ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සහ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ෂහීඩාබාරි මහත්මිය මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාගේ සාක්‌ෂිය මෙහෙයවනු ලැබූහ.