FAST NEWS

24×7 Around the Globe

සීමානිර්ණය වාර්තා ගැසට් කිරීම තව සති දෙකකින්..

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමානිර්ණය වාර්තා ගැසට් පත්‍රය නිකුත් කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග සඳහන් කෙළේය.

සීමානිර්ණය කමිටු වාර්තාව ගැසට් කරන ලෙස රජයේ මුද්‍රණාලයට යොමු කර ඇත්තේ පසුගිය 17 වැනිදා වන අතර එම වාර්තාව සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා තුනෙන් යළි යතුරු ලියනය කිරීම, සෝදුපත් බැලීම ආදිය නිසා එම ගැසට් කිරීම ප්‍රමාද වීමට හේතුව වී ඇති බව පැවසේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් යතුරු ලියනය කරන ලද පිටුවලින් පළමු කොටස සෝදුපත් බැලීම සඳහා පෙරේදා (21දා) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට යවා තිබේ.

එවැනි තවත් පරිච්ඡේද රැසකම සෝදුපත් බැලීමට තිබෙන නිසා එම ගැසට් පත්‍රය නිකුත් වීම ප්‍රමාද වනු ඇතැයිද රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කෙළේය.