FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් 21 ට පෙර වැසි නැත්තම් ජල විදුලිය නැවතෙයි..

අප්‍රේල් 21 වැනි දිනයට පෙර වැසි නොලැබුණහොත් ජලවිදුලි උත්පාදනය නවතා දැමීමට සිදුවන බව බලශක්ති හා පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මස්කෙළිය, මවුස්සාකැලේ ජලාශයේ ශීඝ්‍රයෙන් පහත බැස ඇති ජල මට්ටම නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක් වෙමින් පැවසීය.

අක්කර අඩි 43,000ක් වූ කාසල්රි ජලාශයේ වර්තමාන ජල මට්ටම 38% දක්වාත් අක්කර අඩි 93,000ක් වූ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 33.8% දක්වාද පහත බැස තිබේ.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 31%ද සමනල වැව ජලාශයේ ජල මට්ටම 17.2% ලෙසද පහත බැස තිබෙන බව ඇමැතිවරයා මෙහිදි පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

“අද පවතින තත්ත්වය මාධ්‍ය හරහා ජනතාවට අවබෝධ කර දීම තමයි මෙම චාරිකාවේ අරමුණ. මේක අභියෝගයක්. මේ අභියෝගය ජයගැනීමට අපි විශේෂ වැඩසටහනක් දියත් කරලා තියෙනවා. වැඩපිළිවෙළක් හදලා කැබිනට් එක මෙන්ම අගමැතිවරයා හා ජනාධිපතිවරයාවද දැනුවත් කරලා තියෙනවා. මේ අභියෝගය ජයගන්න සියලුදෙනාගේ සහයෝගයද අප අපේක්ෂා කරනවා.

මේ දවස්වල අපි සමස්ත ජල ප්‍රමාණයෙන් 10%ක් භාවිත කරනවා. විදුලිය නිෂ්පාදනයට තව වැඩි කාලයක් අපිට ඉතිරිව ඇති ජල ප්‍රමාණය රැකගැනීමට නම් මේ මට්ටම 6%ත් 5% අතරට ගෙන ඒමට සිදු වෙනවා. මෙම ජලාශ විදුලිය බල මණ්ඩලය සතු වුණත් අංක එක දෙන්නේ පානීය ජලය සපයා ගැනීම සඳහා. දෙවනුව කෘෂිකර්මාන්තය සඳහා. තෙවැනි අවස්ථාව තමයි දෙන්නේ විදුලි නිෂ්පාදන සඳහා. උදාහරණයක් ලෙස මෙම ජලාශවලින් ජලය මුදා නොහැරියොත් කොළඹ ජනතාවට පානීය ජලය නෑ. අඹතලේට කරදිය මිශ්‍ර වෙනවා. ඒ නිසා 10% විදුලිය නිෂ්පාදනය සඳහා යොදාගනිමින් පානීය ජලය සඳහා ජලය ලබා දීමත් කරනවා. අප්‍රේල් 21 වැනි දිනය වන විට ප්‍රමාණවත් තරම් වැසි නොලැබුණහොත් ජලවිදුලි උත්පාදනය නවතා දැමීමට සිදුවෙනවා. මැයි මාසය අවසන් වන තුරු නියඟය පැවැතියහොත් පානීය ජලය සැපයීමත් ගැටලුවක් වන බවට පත්වෙනවා.

ලක්ෂ 60ක් වෙච්ච මෙරට විදුලි පාරිභෝගික ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා තමන්ගේ විදුලිය පාරිභෝජනයෙන් 10%ක් ඉතිරි කරලා දෙන්න. පසුගිය මාසයට වැඩිය නිවෙසේ විදුලි බුබුළු දෙකක් නිවා දමන්න. එල්.ඊ.ඩී. විදුලි බුබුළු පාවිච්චි කරන්න. වෙනදාට වඩා පැය භාගයක් කලින් නිවෙසේම විදුලි බුබුළු නිවා දමන්න. පසුගිය මාසයට වඩා මේ මාසයේ විදුලි බිලෙන් 10%ක් අඩුකර ගත්තොත් විදුලි බල මණ්ඩලයෙන් තව 10% ත්‍යාගයක් ඔබට දෙන්න කටයුතු කරනවා.”
.