ආණ්ඩුව නව මැතිවරණ ක්‍රමය සකස් කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයෙන් අතුගා දැමීමේ අරමුණින් බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19 දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එජාපයත්, ශ්‍රීලනිපයත් මේ වන විට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් තිබෙන බව කී අනුර කුමාර දිසානායක මහතා වංචනිකයන්, දූෂිතයන් රකින මෙම පක්ෂ දෙකේම ප්‍රතිපත්ති එකක් බවට පත්ව ඇතැයි ද කීය.
මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ජනතා විශ්වාසය දිනෙන් දින තහවුරු වෙමින් තිබෙන නිසා එජාප, ශ්‍රීලනිප පක්ෂ දෙකටම ජවිපෙ හිසරදයක්ව ඇතැයි ද කීය.
දූෂිත පක්ෂ දෙකට හිසරදයක් වූ නමුත් ජනතාවට සහනයක් වූ ජවිපෙ දේශපාලන පිටියෙන් අතුගා දැමීමේ අවශ්‍යතාවක් මෙම පක්ෂ දෙකටම කලක සිට පවතින බව කී දිසානායක මහතා නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය සකසා ඇත්තේ ඒ අරමුණින් බව ද කීවේය.
මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ ඡන්ද පැවැත්වුවොත් බහු පක්ෂ ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල වනු ඇතැයි ද කී දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් ඊට එකඟ වන්නේ නැතැයි ද කීවේය.