FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී ශ්‍රීලනිපය මැති ඇමතින් විශේෂ සාකච්ඡාවකට කැඳවයි..

රජයට එක්වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් සමඟ ජනාධිපතිවරයා අද (17දා) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමීත බව වාර්තා වේ.

එම සාකච්ඡාව සඳහා අද සවස 4.00ට පැමිණෙන ලෙස අදාළ මැති ඇමැතිවරුන් වෙත ලිඛිතව දන්වා ඇති බවද පැවසේ.

එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට පවත්වාගෙන යන යහපාලන ආණ්ඩුව ගිවිසුම් ගත වසර දෙකෙන් පසු ඉදිරියටත් එලෙසින්ම පවත්වාගෙන යනවාද? නැද්ද? යන්න පිළිබඳ මේ සාකච්ඡාවේදී තීරණයකට එළැඹීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම් හා පළාත් සභා ඡන්ද විමසීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්ස්ත ජාතික පක්ෂයෙන් පත්කර සිටින ඇතැම් ඇමැතිවරුන්ගේ තනතුරු නාම වෙනස් කරන ලෙසට ශ්‍රී ලනිප ඇමැතිවරුන්ගෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ අවධානය යොමු කිරීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.

මෙම සාකච්ඡාවෙන් පසු එම මැති ඇමැතිවරු වෙනුවෙන් මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනැමීමටද සැලසුම් කර ඇත.

මේ ඇමැතිවරුන් සඳහා හෙට පෙරවරුවේ වැඩමුළුවක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇත.