FAST NEWS

24×7 Around the Globe

රු. 25,000 රථවාහන දඩය ගැන සාකච්ඡාව ආසාර්ථකයි..

2017 අයවැයෙන් යෝජනා වූ රු. 25,000 රථවාහන දඩ මුදල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුව හා පුද්ගලික බස් සංගම් නියෝජිතයන් අතර ඊයේ (15) පැවැති සාකච්ඡාව අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

කමිටුවේ නිර්දේශ පිළිබඳව දැනුම්දීමට මෙම සාකච්ඡාව කැඳවා ඇති අතර, ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කමිටු සාමාජිකයන් හා බස් සංගම් නියෝජිත පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී තිබේ..

රථවාහන දඩ 7ක් සම්බන්ධයෙන් කතාබහ කිරීමට පැමිණි නමුත් කමිටුව විසින් තවත් දඩ ගණනාවක් එකතු කර නිර්දේශයන් සකස් කර තිබූ බැවින් එයට එකඟවීමට නොහැකි වූ බව සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් සම්මේලනයේ ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මේ සම්බන්ධව ඇමැතිවරයා හා බස් සංගම් නියෝජිතයන් අතර උණුසුම් තත්ත්වයක් උද්ගතව ඇති අතර ඉදිරි සති දෙකේ දී මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන ලෙසට සංගම් නියෝජිතයන්ට දැන්වීමෙන් පසුව සාකච්ඡාව අවසන් වී තිබේ.