FAST NEWS

24×7 Around the Globe

රු. 25,000 දඩය ගැන තීරණාත්මක සාකච්ඡාව අද..

මෙවර අයවැයෙන් යෝජනා කරන ලද රථවාහන වැරදි සම්බන්ධයෙන් පැනවීමට නියමිත රු. 25,000 දඩ මුදල පිළිබඳ අවසන් තීරණාත්මක සාකච්ඡාව අද (15) පැවැත්වේ.

ඉන් අනතුරුව ක්‍රියාත්මක කෙරෙන දිනය තීරණය කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ආචාර්ය සිසිර කෝදාගොඩ මහතා මාධ්‍ය වෙත පැවසීය.ඔහු සඳහන් කළේ රු. 25,000 දඩය අඩු කිරීමට හෝ අහෝසි කිරීමට කමිටුව තීරණයක් ගෙන නොමැති බවයි.

වමෙන් ඉස්සර කිරීම, අධික වේගය, බිමත්ව පැදවීම මේ ආදී වැරදි හතක් වෙනුවෙන් මෙම දඩ මුදල යෝජනා වී තිබූ අතර පෞද්ගලික බස් සංගම් ඇතුළු රියැදුරු සංවිධාන හා සමාජයෙන් එල්ල වූ විරෝධය හමුවේ වැඩිදුර සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කරන ලදී.

මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය යන ආයතනවල ‍ලේකම්වරුන්, රථවාහන ‍පොලිසිය, පුද්ගලික බස් සංගම් හා ප්‍රවාහන සංගම් නියෝජිතවරු මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.