FAST NEWS

24×7 Around the Globe

පරිභෝජනයට නුසුදුසු ෆාම් තෙල් මෙට්‍රික් ටොන් 17000 ක් ගෙන්වලා..

මිනිස් පරිභෝජනයට නුසුදුසු තරම් නිදහස් මේද අම්ල අඩංගු විම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව මුදාහැරිම ප්‍රතික්ෂේප කළ ෆාම් ඔයිල් බහාලුම් 24 ට අදාල නඩුව අවසන් වී ඇති හෙයින් වහාම ඊට අදාල රේගු පරික්ෂණය අරඹන ලෙස රේගු අධ්‍යක්ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා උපදෙස් දි ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවසිය.

ඒ අනුව රේගු ආඥා පනතේ 8.1 වගන්තිය අනුව ශ්‍රී ලංකා රේගුවේ පරික්ෂණ නිලධාරියෙකු යටතේ මෙම සිද්ධියට අදාල රේගු පරික්ෂණය මේ සතියේදී පැවැත්වෙන බවද ඒ මහතා සදහන් කළේය.

කෘඩ් ෆාම් ෆැටි ඇසිඩ් ලෙස රේගුවට ප්‍රකාශ කරමින් 2016 මාර්තු මස ලංකාවට ගෙනා මෙම බහාලුම්වලින් ලබා ගත් නියැදි පරික්ෂාවේදී ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු තරම් නිදහස් අම්ල අඩංගු ෆාම් තෙල් බව හෙළිවීම හේතුවෙන් මෙම බහාලුම් 24 මුදා නොහැරීමට රේගුව තීරණය කර තිබිණි.

ශුද්ධ නොකල ෆාම තෙල්වල මේද අම්ල ප්‍රතිශතය 5ක් විය යුතු අතර මිනිස් පරිභෝජනයට සුදුසු වන ලෙස ශුද්ධ කල ෆාම් තෙල් වල මේද අම්ල 0.1ක් අඩංගුව තිබිය යුතු බව ආනයන පාලන පනතෙන් හා ආහාර පනත යටතේ ප්‍රකාශ කර තිබියදීත් ගෙන්වා ඇති මෙම බහාලුම්වල මේද අම්ල ප්‍රතිශතය 16 – 20  ත් අතර වූ බව ශ්‍රී ලංකා රේගුව සදහන් කරයි. මෙතරම් මේද අම්ල සහිත තෙල් පරිභෝජනය හෘද රෝග හා පිළීකා ඇති කිරීමට ඉඩ ඇති බව විද්වත් මතය වී ඇතැයිද රේගුව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පැවැති විමර්ශනයේදී මා‍ලේසියානු ෆාම් තෙල් මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ අදාල ආනයනකරුගේ ඉල්ලීම මත ශුද්ධ කරන ලද ෆාම් තෙල් 75ට නිදහස් මේද අම්ල 25ක් එක්කර අකෘඩ් ෆාම් ෆැටි ඇසිඩ් ලෙස නම්කර ආනයනය කර ඇති බවයි.

ශ්‍රී ලංකා රේගෆවේ භාණ්ඩ වර්ගීකරණ හා නාමාවලිය පිළීබද කමිටුව විසින් වර්ගීකරණ අංක එච්. එස්. කෝඩ් 1518 යටතේ කෘඩ් ෆාම් ෆැටි ඇසිඩ් ආනයනය කිරිම අනුමත කොට ඇති නිසාත් ඒ සදහා ලෝක රේගු සංවිධානයෙන් කිසිදු විමර්ශනයක් හෝ පරික්ෂණයක් සිදුකර නැති නිසාත් මෙම බහාලුම් සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ පරික්ෂණයක් පැවැත්විමේ අවකාශයක් නැතැයි කියමින් ආනයනකරු අභීයාචනාධිකරණයට රිට් අයදුම්පතක් යොමු කරමින් ප්‍රකාශ කර තිබුණද අභියාචනාධිකරණය පසුගියදා එම පෙත්සම නිෂ්ප්‍රභ ක‍ළේය.

ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි කියමින් ශ්‍රී ලංකා රේගුව මගින් රදවා ගනු ලැබූ මෙම බහාලුම් 24ට අදාල ඉදිරි පරික්ෂණ කටයුතු පැවැත්වීමට රේගුව තිරණය කර ඇතැයිද ධර්මසේන කහදව මහතා සදහන් ක‍ළේය.

මෙම අනයනකරු 2012 වසරේ සිට මේ දක්වා මෙවැනි බහාලුම් 850ක් ලංකාවට ගෙන්වා ඇති අතර ඒවායේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ෆාම් තෙල් මෙට්‍රික් ටොන් 17000 අඩංගුව තිබි ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සදහන් ක‍ළේය.