FAST NEWS

24×7 Around the Globe

අගමැති ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සදහා පිටත්ව යයි…

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා අද(13) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ලබන 17 වන දින දක්වා හෙතෙම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මෙම සංචාරය තුළ දී අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එරට රජයේ මැති ඇමතිවරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

වර්තමානයේ දේශපාලන සහ ආර්ථික තත්ත්වය පිළිබඳව මෙන්ම රට තුළ ඇති ආයෝජන අවස්ථා පිළිබදව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඔස්ට්‍රේලියානු රජයේ නියෝජිතයින් දැනුවත් කරනු ඇත.

අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම සංචාරය සඳහා අමාත්‍ය විජිත් විජයමුණි, අමාත්‍ය අර්ජුණ රණතුංග ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටිති.