පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් දේශපාලනඥයන් 300කගේ නම් ලැයිස්තුවක් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවසීය.
යම් ලෙසකින් අදාළ දේශපාලනඥයෝ එයින් වරදකරුවනු වුවහොත් ඔවුන්ට ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමේ හැකියාවක් නොමැති බවද අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.
මෙම දේශපාලනඥයන් අතර පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ වත්මන් පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන්, හිටපු නගරාධිපතිවරුන්, පාර්ලිමේන්තුවේ හිටපු අමැති ඇමැතිවරු ඇතුළු පිරිසක් සිටින බවද වාර්තා වේ.
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් මෙම පිරිස හැර සෙසු සියලු දෙනා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බවද හෙතෙම කීවේය.
ඒ අනුව මෙම දේශපාලනඥයන් 300 දෙනාට අල්ලස් කොමිසම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මේ අතර දේශපාලන පක්ෂවල නිලධාරීන්ටද වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති අතර එම ප්‍රකාශ භාරදීම සඳහා තවත් සති 2ක කාලයක් ලබාදීමටද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 28 වැනිදා වනවිට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් දේශපාලන පක්ෂවල නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක්ද අල්ලස් කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බවද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයාටද, ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරු ජනාධිපතිවරයාටද වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුය.