FAST NEWS

24×7 Around the Globe

සංශෝධිත නව දඩ පත්‍රිකාව ඉදිරි සතියේදී..

රථ වාහන වැරදි සඳහා වන සංශෝධිත නව දඩ පත්‍රිකාව ඉදිරි සතියේදී ත්‍රීරෝද රථ හා බස් සංගම් වෙත ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා සඳහන් කළේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මතු වු ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති පත් කළ විශේෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් යුත් රැස්වීමකදී අදාළ පාර්ශව වෙත එම දඩ පත්‍රිකාව ඉදිරිපත් කරන බවය.

මේ වන විටත් රථ වාහන වැරදි සඳහා වන නව දඩ පත්‍රිකාව කෙටුම්පත් කර අවසන් බව ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් ත්‍රීරෝද රථ හා බස් සංගම් වෙත අදාළ කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ අදහස් හා යෝජනා පිළිබඳ සැලකිල්ලට ගෙන එය තවදුරටත් සංශෝධනය කිරීමට අපේක්ෂා කෙරෙන බව නිහාල් සෝමවීර මහතා සඳහන් කළේය.

නව රථ වාහන දඩ පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන පනත සහ එහි දෙවන උපලේඛනය ද සංශෝධනය කළ යුතු අතර කඩිනමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා ප්‍රකාශ කළේය.