FAST NEWS

24×7 Around the Globe

අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නඩු පැවරීමට සැරසේ..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාවක්‌ නිකුත්වී ඇති බවත්, එහි සඳහන් අක්‍රමිකතා ඔහු කර තිබේ නම් ඔහුට එරෙහිව නඩු පවරන බවත් මුදල් රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (09දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ බැඳුම්කර වංචාවට අමතරව බවද මුදල් රාජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය.

කිසිම රාජ්‍ය සේවකයකුට මෙවැනි අයිතියක්‌ නැති බවත්, ඒ නිසා මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාවේ සඳහන් කරුණු ගැන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වහාම රටට පිළිතුරු දියයුතු බවත් ඇමති ලක්‌ෂ්මන් යාපා කීවේය.

අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ නම සහ ඡායාරූපය සහිතව ඔහුගේ ප්‍රකාශයක්‌ යයි කියමින් පුවත්පත්වල පළකර තිබූ නිවේදනයෙන් එම අභ්‍යන්තර විගණන වාර්තාවේ සඳහන් කර තිබූ අක්‍රමිකතාවල සත්‍ය අසත්‍යතාව ඔහු සඳහන් කර නොතිබූ බවද ඇමතිවරයා කීවේය.

”මේ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාවේ සඳහන්ව ඇති කරුණු අතුරින් බරපතළ කරුණු කීපයක්‌ම තියෙනවා. එකම දිනයක හෝටල් දෙකක සිටීම, තම කෙඩිට්‌ කාඩ්පත සීමාවකින් තොරව භාවිත කර තිබීම, එම ක්‍රෙඩිට්‌ කාඩ්පත පෞද්ගලික හේතූන් උඩ භාවිත කර තිබීම යන කාරණා බරපතළ එවා. ඒ නිසා ඒවා කළාද නැද්ද කියා පිළිතුරු දෙන ලෙස තමා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට කියා සිටින බවත් මුදල් රාජ්‍ය ඇමතිවරයා කීවේය.

තමාට අයිතියක්‌ නැති දේ සිදුකර තිබේ නම් ඔහුගේ සද්භාවය, විනිවිදභාවය ගැන පැහැදිලි සහතිකයක්‌ ලැබෙන බවද, ඔහු මහ බැංකුවේ අභ්‍යන්තර විගණනය ගැන මාධ්‍යයට නිවේදනයක්‌ නිකුත් කළේ අත්සනක්‌ සහිතව වගකීමක්‌ ඇතිව දැයි තමා හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවද ඇමති ලක්‍ෂ්මන් යාපා කීවේය.

එම නිවේදනය නමක්‌ අත්සනක්‌ නැතුව මාධ්‍යයට යෑව්වා නම් ඒක මාධ්‍ය විසින් පළකර එකත් වැරදියි. මොකද ඒකේ වගකීම නොගන්නවනම් ඒක බරපතළ ප්‍රශ්නයක්‌. හේතුව අර්ජුන මහේන්ද්‍රන් මහතාට පසුව ඕන නම් කියන්න පුළුවන් එය තමා යවන ලද නිවේදනයක්‌ නොවේ කියලා. ඒ නිසා මෙහි පසුබිම කුමක්‌ දැයි පැහැදිලිව පෙනෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.

මහ බැංකුවේ නිකුත්ව ඇත්තේ අභ්‍යයන්තර විගණන වාර්තාවක්‌. ඕනෑම ආයතනයක අභ්‍යන්තර විගණන වාර්තාවක්‌ ලබා දිය යුත්තේ ආයතන ප්‍රධානියාටයි. ඒ නිසා මේ වාර්තාව දෙන්නෙ දැනට ඉන්න මහ බැංකු අධිපතිතුමාටයි. ඒ නිසා මහ බැංකුවේ අභ්‍යයන්තර විගණනය කරන දෙපාර්තමේන්තුවේ අයට හිටපු අධිපතිවරයාගෙන් ප්‍රශ්න අහන්නවත්, එම අභ්‍යයන්තර විගණන වාර්තාව හිටපු අධිපතිවරයාට ලබා දීමටවත් කිසිම අවශ්‍යතාවයක්‌ නැති බවද ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.