FAST NEWS

24×7 Around the Globe

“කුඩු රොෂාන්” ඝාතනයට භාර වු සැකකරුවන් රිමාන්ඩ්…

බොරැල්ල එම්.එච්. මොහොමඞ් ක්‍රීඩාංගණයේ ව්‍යායාම කරමින් සිටි  චාමර සඳරුවන් නොහොත් “කුඩු රොෂාන්” නමැත්තා කපා කොටා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව දිවුරුම් ප්‍රකාශ මත අධිකරණයට භාරවූ සැකකරුවන් තිදෙනකු ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) නියෝග කළේය.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ලේල්ලවල ගුරුගේ ධනුෂ්ක අනුරාධ නොහොත් “මහත්තුරු”, වික්‍රම ආරච්චිලාගේ හර්ෂ ජීවන්ත සහ වේලාතන්ත්‍රිගේ ගයාන් රණදේව බොතේජු නමැත්තන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණී.

නීතිඥ මේරි ඩික්මන් මහත්මිය විසින් අධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් මගින් අධිකරණය වෙත භාරවූ මෙම සැකකරුවන් තිදෙනා අධිකරණය වෙත සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව පොලිසිය තමන් සොයමින් සිටින බැවින් අධිකරණයට භාරවන බවය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණය වෙත භාරවන්නේ නම් පමණක් මේ පිළිබඳව සලකා බලන බවය.

ඒ අනුව පසුව දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට භාරවූ මෙම සැකකරුවන් තිදෙනා ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර  ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පවත්වා අධිකරණය වෙත වාර්තා කරන ලෙසට බොරැල්ල පොලිසියට නියෝගයක් ද නිකුත් කළේය.

බොරැල්ලේ පිහිටි එම්.එච්. මොහොමඞ් ක්‍රීඩාංගණයේ පාපන්දු ක්‍රීඩාව පුහුණුවීම සහ ව්‍යායාම සඳහා ගොස් සිටි තම ස්වාමියා නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් මන්නා පිහියකින් කපා කොටා ඝාතනය කළැයි බොරැල්ල පොලිසිය වෙත සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ යක්දෙහි අනුෂා දමයන්ති සිල්වා නමැත්තිය  විසිනි.