FAST NEWS

24×7 Around the Globe

පර්පචුවෙල් සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පියවර රැසක්..

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට චෝදනා එල්ල වී ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සම්බන්ධයෙන් පියවර රැසක් මේ වන විට ගෙන ඇති බවත්, ඒ සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (08) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ පැවසීය.

“බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ හා ක්‍රියාමාර්ග විස්තරාත්මකව මට තවම කියන්න බැහැ. නමුත් පාර්ලිමේන්තු විවාදයේ දී පංගුවක් ඒවා එලියට ආවා. පර්පචුවල් ට්‍රෙෂරීස් හි ඇතැම් ක්‍රියාකාරකම් සීමා කිරීමට මුදල් මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබුයේ මහ බැංකුව විසින් සිදුකළ පරීක්ෂණය අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් විසින් ඇතැම් උල්ලංඝණය කිරීම් සිදුකළ බවට හඳුනාගෙන තිබෙන නිසා. ඒ වගේම තවත් දේවල් මෙම වාර්තාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒවා තවදුරටත් විමර්ශනය කළ යුතුයි.“

“මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ලෙසින් මා පොලිස්පතිවරයා වෙත ඒ බව දැනුම් සිටියා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස. එම විමර්ශණය මේ වන විට සිදුවෙමින් පවතිනවා. තවත් අභ්‍යන්තර පරීක්ෂණ දෙකක් පැවැත්වෙනවා.“