FAST NEWS

24×7 Around the Globe

හිටපු මහබැංකු අධිපති මහ බැංකුවේ ලක්‍ෂ 662ක් අයථා පරිහරණයේ..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු බැඳුම්කර අක්‍රමිකතාවට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ රුපියල් ලක්‍ෂ 662ක් අයථා ලෙස පරිහරණය කර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ අනාවරණය කරයි.

ඒ පිළිබඳ අභ්‍යන්තර විගණන වාර්තාවකින් තහවුරු වී ඇති අතර එම වාර්තාව තමා සතුව ඇති බවද සමරසිංහ පවසයි.

ක්‍රෙඩිට් කාඩ් හරහා එක් දිනකදී ඔහු විසින් හෝටල් දෙකකට බිල් ගෙවීම, ලක්‍ෂ විස්සක (20) යුරෝපීය ඇඳුම් මිලට ගැනීම, සුරාබදු පනත් උල්ලංඝනය කිරීම ඇතුළු දූෂණ ක්‍රියා කිහිපයක් බිල්පත් රහිතව සිදුකර ඇතැයි පවසන ඒ මහතා පෙන්වා දුන්නේ එහිදී පමණක් ලක්‍ෂ 340ක අවභාවිතයක් සිදුව ඇති බවයි.

සමරසිංහ මහතා පවසන්නේ මේ ක්‍රියාවලිය සිදුව ඇත්තේ 2015 පෙබරවාරි සිට 2016 අගෝස්තු දක්වා කාලයේදී බවයි.

මීට අමතරව අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් මත්පැන් සමාගමක රජයට ගෙවිය යුතු බදු මුදල් වන රුපියල් කෝටි 84ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බවත් 2016 දෙසැම්බර් 31 වන විට කෝටි 72ක්ද, 2017 ජනවාරි පමණක් කෝටි 12ක්ද වන බදු මුදල් මෙසේ පැහැර හැර ඇති බවත් ඒ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ එම මාමා, බෑනා එක්ව සිදුකළ මේ වංචනික ක්‍රියාවන්ට එරෙහිව මේ සතියේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමට සූදානම් වන බවයි.