FAST NEWS

24×7 Around the Globe

පාරිභෝගික අධිකාරියේ වැටලීම් වලින් ආදායම රුපියල් මිලියන 90.2 ක් – සභාපති තිලකරත්න

තරඟකාරී වෙළෙඳපොළේ දී කළුකඩ හිමියන්ගෙන් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට විමර්ශන නිලධාරියා සතු කාර්යය විශාලයි. කාර්යක්ෂම විමර්ශන නිලධාරීන් සිටින විට රාජ්‍ය ආදායම වැඩි කරන්න පුළුවන්… යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවැසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කොළඹ, වොක්ෂෝල් වීදිය,සතොස ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති,පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් සඳහා පත්වීම් දීමේ උත්සවයට එක්වෙමිනි.

කර්මාන්ත හා වාණිජකටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 20 වැනිදා උත්සවය පැවැත්විණි.

තිලකරත්න මහතා මෙසේ ද කීය.

“පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රටේ සංවර්ධනයට උරදෙන ප්‍රබලම ආයතනයක්.පාරිභෝගිකයින්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම, අභ්‍යන්තර වෙළෙඳාම විදිමත් කිරීම, තරඟකාරීත්වයෙන් මිල පාලනය කර ස්ථාවර වෙළෙඳපොළක් නිර්මාණය කිරීම ඇතුළු වගකීම් රැසක් මේ ආයතනය සතුව තිබෙනවා. ජාතික බල නියාමකයා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හඳුන්වන්නපුළුවන්.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට කැපවිය යුතුයි. ඒ කැපවීමෙන් වෙළෙඳපොළේ ස්ථාවරත්වය ආරක්ෂා වෙනවා. ඒ තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය වනවා. විමර්ශන නිලධාරීන් කියන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තිබෙන වගකිව යුතු තනතුරක්. තරඟකාරී වෙළෙඳපොළේ දී කලුකඩ හිමියන්ගෙන් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට විමර්ශන නිලධාරියා සතු කාර්යය විශාලයි. කාර්යක්ෂම විමර්ශන නිලධාරීන් සිටින විට රාජ්‍ය ආදායම වැඩි කළ හැකියි.

ගතවූ 2016 වර්ෂය සළකා බැලීමේ දී කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ උපදෙස් මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලු නිලධාරීන්ගේ විසින් වැටලීම් 21,819 ක් සිදු කර තිබෙනවා. විසි එක්දහසකට අධික සංඛ්‍යාවකට නඩු පැවරීම් කර තිබෙනවා. ඉන් රජයට උපයා දී තිබෙන ආදායම රුපියල් මිලියන 90.2 ක් පමණ වනවා. 2015 වර්ෂයේදී රුපියල් මිලියන 67.9 ක දඩ ආදායමක් උපයා දී තිබෙනවා. ඒඅනුව 2015 ට සාපේක්ෂව 2016 දී රුපියල් මිලියන විස්සකින්දඩ ආදායම ඉහළ නැංවී තිබෙනවා. ඒ සඳහා හේතුවී තිබෙන්නේ එකී නිලධාරීන්ගේ කැපවීම බව කිව යුතුයි.විමර්ශන නිලධාරීන් ලෙස අද පත්වීම් ලබන ඔබ සියළු දෙනාද කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි මා අපේක්ෂා කරනවා” යැයි කීය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඉහළ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.