FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට – අවසන් තීරණය 23 වැනිදා..

ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට සියළු පක්ෂ නායකයින් ඊයේ (09) අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී එකඟ වූ බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මාධ්‍යට පැවසීය.

එහිදී සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා ඊයේ පස්වරුවේ පළාත් පාලන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ මේ මස 17දා අත්සන් සියල්ල සහිතව සීමා නිර්ණ කොමිසමේ වාර්තාව ලබා දෙන බවටය.

එම ලිපියෙන් අශෝක පීරිස් මහතා කමිටුවේ පරිපාලන රාජකාරි සඳහා එහි කාලය මේ මස අග දක්වා දීර්ඝ කරන ලෙසට ඉල්ලීමක් ද කර තිබේ.

මේ අතර ඊයේ අග්‍රාමාත්‍යවරයා සමග පැවැති පක්ෂ නායක හමුවේදී පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කර ඇත්තේ සම්පූර්ණ වාර්තාව ලැබුණු පසු වහාම එය ගැසට් කිරීමට කටයුතු කරන බවය.

වාර්තාව නිකුත් කිරීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන තවත් විශේෂ සාකච්ඡාවක් ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වීමටද අගමැතිවරයා එහිදී තීරණය කර ඇත.

මේ සඳහා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කබිර් හෂීම්, රවුෆ් හකීම්, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා, විජයදාස රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද, එම්.ඒ. සුමන්තිරන් විෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී සීමා නිර්ණ කමිටු වාර්තාව  පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා වෙත භාර දීමෙන් අනතුරුව  පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතේ 3 (ඈ) වගන්තිය අනුව ගැසට් පත්‍රයේ පළ කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සඳහා අවශ්‍ය සියලු දේශපාලන පක්ෂවලට පිළිගත හැකි අන්තර්කාලීන විධිවිධාන හා අවශ්‍ය නීතිමය සංශෝධන සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට මේ මස 23 දායින් පසු දිනයක රැස්වීමට පක්ෂ නායකයින් එකඟ වී ඇත.