FAST NEWS

24×7 Around the Globe

ඇමති මුස්තාපා සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කරයි..

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අදාළ කමිටුව සඳහා පත් කළ හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් සහ එක්සත් ජාතික පක්ෂයෙන් පත් කළ ජ්‍යෙෂ්ඨ නීතීඥ එස්.මිස්බා යන අය අදාළ සීමා නිර්ණය අවසන් වාර්තාවට අත්සන් තබා නොමැතිවීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කරන බව ඒ මහතා අවධාරණය කර ඇති බව වාර්තා වේ.

සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව තමන්ට නොලැබීම හේතුවෙන් ඊට අත්සන් තැබීමට නොහැකි වූ බවද එම කමිටු සාමාජිකයින් දෙදෙනා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

එසේම අදාළ වාර්තාව කියවා බැලීමකින් තොරව අත්සන් තැබිය නොහැකි බවද  ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කමිටුවට පත් කළ නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් කමිටුවට පත් කළ මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයි මහතා මේ වන විට අදාළ සීමා නිර්ණය අවසන් වාර්තාවට අත්සන් තබා තිබේ.

තමන් ඇතුළුව කමිටුවේ බහුතර සාමාජිකයන් පිරිසක් වාර්තාවට අත්සන් තබා ඇති බැවින් එහි වලංඟුභාවය පිළිබඳ ගැටළු මතු නොවන බවද කමිටු සභාපති අශෝක පිරිස් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.