FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණ කමිටු අවසන් වාර්තාව අද (28දා) දහවල් අමාත්‍ය ප්‍රියංකර අතට..

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණ කමිටු අවසන් වාර්තාව අද (28දා) දහවල් පළාත් සභා සහ පළාත් පාලන වැඩ බලන අමාත්‍ය පියංකර ජයරත්න මහතාට භාරදෙන බව එම කමිටුවේ සභාපති අසෝක පීරිස් මහතා පවසයි.

සීමා නිර්ණ කමිටු වාර්තාව ඊයේ (27දා) භාර දෙන බව අශෝක පීරිස් මහතා මුලදී ප්‍රකාශ කොට තිබිණි. වාර්තාව සැකසීමේ අඩුපාඩු තිබූ බැවින් එය එදිනට නිම කර ගැනීමට නොහැකි වූ බව පීරිස් මහතා කියා සිටී. යම් යම් ප්‍රමාදයන් සිදුව තිබුණත් තමාද ඇතුළු සීමානිර්ණ කමිටුව, වාර්තාවේ සිංහල පරිවර්තනය අද (28දා) දින වැඩ බලන ඇමැතිවරයාට ලබාදීමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කරයි.

පළාත් පාලන ආයතන සීමා නිර්ණ වාර්තාව සැකැසීම සඳහා හිටපු ජේ‍යෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකුද වූ අසෝක පීරිස් මහතා ප්‍රමුඛ පංච පුද්ගල කමිටුවක් පත්කරන ලද්දේ 2015 නොවැම්බර් මාසයේදී බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා පවසයි.

වාර්තාවේ පරිවර්තන අඩුපාඩු ඇති බැවින් එය භාරදීමට තවත් සතියක කාලයක් ලබාදෙන ලෙස පළාත් සභා සහ පළාත් පාලන වැඩ බලන අමාත්‍ය පියංකර ජයරත්න මහතා හමුවූ අසෝක පීරිස් මහතා ඊයේ (27දා) ඉල්ලීමක්ද කර තිබිණි.