FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණ කමිටු වාර්තාව අද දුන්නොත් හෙට ගැසට් කරනවා – ඇමති මුස්තාපා

සීමා නිර්ණ කමිටු වාර්තාව අද (27) දිනයේ ලබා දෙන්නේ නම් හෙට (28) දින එය ගැසට් කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (26) මක්කම සිට මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“මම රටින් පැනලා ගියේ නැහැ. මම වෙනුවට රාජ්‍ය ඇමැති වැඩ බලනවා. එතුමත් නැතිනම් මේ වාර්තාව පිළිගන්න කියලා මම අමාත්‍යංශ ‍ලේකම්ට උපදෙස් දීලා ආවේ” යැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙහිදි පැවැසීය.

පළාත් පාලන ආයතනවල සීමා මායිම් ලකුණු කර සකස් කෙරුණු සීමා නිර්ණය කමිටුවේ වාර්තාව අද (27) දිනයේ ලබා දෙන බව මෙයට සති කිහිපයකට පෙර කමිටුවේ සභාපති අසෝක පීරිස් මහතා ප්‍රකාශ කර තිබිණි.

එසේ තිබියදී අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පෙරේදා (25) දිනය වන විට සෞදි ආරබිය බලා පිටත්ව ගොස් සිටියේ මක්කම උම්රා වන්දනාවට එක්වීම සඳහාය.

“සමහරු දාලා තියෙනවා මම පැනලා ගියා කියලා. ඇමැතිවරයෙක් විදෙස්ගත වෙනකොට ඒ කටයුතු රාජ්‍ය ඇමැතිවරයාට බැලීමේ හැකියාව තියෙනවා. මම ඒ උපදෙස් දීලා තියෙන්නෙ. රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා නැතිනම් අමාත්‍යාංශ ‍ලේකම්ට වුණත් මෙම වාර්තාව භාර ගැනීමේ හැකියාව තියෙනවා. අද දුන්නොත් හෙට එය ගැසට් එකට යවනවා” යැයි අමාත්‍යවරයා වැඩිචුරටත් පැවැසීය.

සීමා නිර්ණය අනුව පළාත් පාලන කොට්ඨාස 4833ක් බෙදා වෙන්කර ඇති බවත්, එම කොට්ඨාසවලට අයත් සිතියම් සම්පූර්ණ කර වාර්තාව සකසා ඇති බවත් සදහන් වේ.