FAST NEWS

24×7 Around the Globe

ජනවාරි 01 දා සිට ප්‍රමීතියක් නැති හෙල්ම්ට් තහනම්..

ජනවාරි 01 දා සිට ප්‍රමිති සහතිකය නොමැති යතුරුපැදි හිස් ආවරණ වෙළෙඳපොළට නිකුත් කිරීම තහනම් කරන බව  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ  මහතා ඊයේ(22) පැවැති මාධ්‍ය හමුවකදී  ප්‍රකාශ කළේය.

එම ප්‍රමිතිය සහිත යතුරුපැදි හිස් ආවරණ නිෂ්පාදනය සඳහා ලබාදී තිබූ සහන කාලය දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන බවද හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව ජනවාරි 01 වනදා සිට පරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රමිති සහතිකය නොමැති යතුරුපැදි හිස් ආවරණ වෙළෙඳපොළට නිකුත් කරන්නන් පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගනු  ලැබේ.

මෙරට යතුරුපැදි හිස් ආවරණ නිෂ්පාදන ආයතන 06න් ආයතන  02ක් දැනටමත් ප්‍රමිති සහතිකය ලබා ගෙන තිබේ.

මේ මස අවසන් වන විට සෙසු ආයතන වෙත ද ප්‍රමිති සහතිකය ලබාදීමේ ක්‍රියාවලිය අවසන් කළ හැකි බවද සභාපතිවරයා සඳහන් කළේය.

සෑම වර්ෂයකම යතුරුපැදි අනතුරුවලින් මියයන සහ තුවාල ලබන සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීම හේතුවෙන් එය වැලැක්වීම සඳහා නව ප්‍රමිති හඳුන්වාදීමේ අවශ්‍යතාව මතුව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ  හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.