FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුවේ හිටපු අධිපතිවරයා දඬු කඳේ ගැසිය යුතුයි – ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න..

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටු සාමාජිකයකු හැටියට තමාගේ තීරණය නම් මහ බැංකුවේ හිටපු අධිපතිවරයා දඬු කඳේ ගැසිය යුතුය යන්න යැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ඊයේ (15) ශ්‍රීලනප පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මුළු රටේම ආන්දෝලනයට ලක්ව ඇති මේ ගනුදෙනුව කිසිවකු විසින් හෝ යට ගසන්නේ නම් එය මහා ජාතික අපරාධයකට දිරි දීමක් බව පැවැසූ රාජ්‍ය අමාත්‍යවරයා එම පාපකර්මයට තමා කිසිම දවසක දායක නොවන බවත් බැඳුම්කර සිද්ධිය ඈලියාවට ගොස් තිබීම තමා ඇතුළු කෝප් කමිටුවේ සාමාජිකයන් සියලුම දෙනාට මහත් ගැටලුවක් බවත් මෙහිදි සඳහන් කෙළේය.

පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමට සර්වපාක්ෂික සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කෝප් කමිටුවක තීන්දු තීරණ යට ගැසීමට තරම් බලවත් හස්තයක් ක්‍රියාත්මක වීම පුදුම සහගත බවත් කෝප් කමිටුවට එරෙහිව වන රටක රාජ්‍ය ආයතන ගැන කුමන කතා දැයි ඇමැතිවරයා ප්‍රශ්න කර සිටියේය.