FAST NEWS

24×7 Around the Globe

ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නැත්තේ ඇයි ?

තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනි ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නැත්තේ ඇයිදැයි  ප්‍රකට නිළියක් වන ගෞතමි ටඩිමල්ලා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යොමුකරමින් ප්‍රශ්න කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි..

ජයලලිතා රෝහල්ගත කළ දින සිට  කිසිවකුවත් ඇයගේ  සුවදුක් බැලීමට අවසර නොදීම සහ රහසිගතව රෝහ‍ලේ තබා ගත් හේතුව කුමක්දැයි ඇය මෙමගින් ප්‍රශ්නකර ඇත.

මහ ඇමැතිනි ජයලලිතා  රෝහල් ගත කළ දින සිට මාස කිහිපය තුළම ඇයට  ලබාදුන් ප්‍රතිකාර, ලැබූ සුවය කෙරෙහි  කිසිදු වාර්තාවක් ජනතාවට සපයා නැති බව හතළිස් අට හැවිරිදි ටඩිමල්ලා වැඩිදුරත් එම ලිපියේ සඳහන් කර ඇති බව පැවසේ.

ඇය රෝහල්ගතව  සිටින අතරතුර සුව අතට පත්වෙමින් තිබෙන බව පවසා පනීර් සෙල්වම්ට මහ ඇමැති ධුරයේ රාජකාරි ලබාදීමත් සුවය ලැබු බව දැනුම් දුන් දිනදීම මධ්‍යම රාත්‍රියේ මෙලොවින් සමුගත් බව ප්‍රකාශ කිරීමත් කාගේත්  කුතුහලයට ලක්ව ඇති කරුණක් බවත් එහෙයින් මේ සම්බන්ධයෙන් ඇතිව ඇති කරුණු සොයා බලා මහජනතාව දැනුවත් කිරීම අවශ්‍ය බව ද ටඩිමල්ලා ලිපියේ සඳහන් කර ඇත.