FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් හා හිටපු ජනපති මහින්ද අතර විශේෂ සාකච්ඡාවක්…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සහ එම සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සමග ඊයේ (09 දා) විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වූහ.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි අගමැති කාර්යාලයේදී මෙම විශේෂ සාකච්ඡාව ඊයේ (9 දා) පෙරවරුවේ පවත්වා ඇත.

ඒ අනුව ඊට ඒකාබද්ධ විපක්‍ෂයේ දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, ලොහාන් රත්වත්තේ, ශෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරුන් සහභාගි වී තිබේ.

මෙම විශේෂ රැස්‌වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැඳවීමකින් පැවැත්වී තිබේ.

නව ව්‍යවස්‌ථාව සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ මතය මෙන්ම අදහස්‌ සහ යෝජනා මොනවාදැයි කියා අගමැතිවරයා මෙහිදී විමසූ බව වාර්තා වේ.

එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ නව ව්‍යවස්‌ථාව කුමක්‌ද, එය කෙලෙස සකස්‌ වන්නේ දැයි කියා රජය ප්‍රථමයෙන් සිය අදහස්‌ දැක්‌විය යුතු බවය.

එසේ නොමැතිව ඒකාබද්ධ විපක්‍ෂයේ අදහස ප්‍රකාශ කරන්නේ කෙසේ දැයි කියා ඔවුන් විමසා තිබේ.

ඊට අමතරව වසර දෙකක්‌ පමණ තිස්‌සේ කල් දමමින් සිටින පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටි බවද පැවසේ.

කෙසේ වෙතත් නව ව්‍යවස්‌ථාව සම්බන්ධව හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව අගමැතිවරයා මෙහිදී පැහැදිලි පිළිතුරක්‌ ලබා නොදී ඇත.