FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…

ගෝල්ඩන් කී මුදල් තැන්පත්කරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් අඩංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබිය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ මූලික විමර්ශනයක් ඊයේ (06) පැවැත්වුනු අතර වැඩිදුරටත් කරුණු විමසීම සඳහා එය ලබන පෙබරවාරි මස 27 වැනි දිනට කල් තබනු ලැබිය.

පාමන්කඩ සුරනිමල පෙදෙසේ ආර්. එච්. ප්‍රනාන්දු මහතා ගෝල්ඩන් කී මුදල් තැන්පත්කරුවන් වෙනුවෙන් මෙම පෙත්සම යොමු කරනු ලැබිය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය හා එහි සාමාජිකයන් 07 දෙනකු නම් කොට ඇත.

මෙම පෙත්සම විමසුමට ලක්වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් ‘ගෝල්ඩන් කී’ නඩුව විනිසුරුවන් පස් දෙනකුගෙන් යුත් පංච පුද්ගල පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාග වූ හෙයින් හා අදාළ කරුණු එම නඩු විභාගයට අදාළ කරුණක්ද වන හෙයින් එකී විනිශ්චය මණ්ඩලය හමුවේම මෙම පෙත්සම ද විමසුමට යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳව ප්‍රතිචාරයක් නොදැක්වූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම වැඩිදුර විමසුම සඳහා පෙබරවාරි 27 දින යළි කැඳවීමට නියම කළේය.

පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ එම්. එම්. හිස්බුල්ලා මහතා කරුණු දැක්වීය.