පෞද්ගලික බස් සංගම් ඇතුළු ප්‍රවාහන සංගම් සමග ඊයේ (05) පැවැති සාකච්ඡාවේ දී ලබාගත් කරුණු පදනම් කර ගනිමින් දඩ මුදල් සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ සකස් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා පවසයි.
ප්‍රවාහන සංගම් සමග පැවැති සාකච්ඡාවල දී වමෙන් ඉස්සර කිරීම සහ වේග සීමාව සම්බන්ධයෙන් පමණක් ඔවුන් විරෝධය පළකළ බවත් එම කරුණ ලිඛිතව ලබාගනිමින් දඩමුදල් සංශෝධනය සම්බන්ධයෙන් මූලික කෙටුම්පත් සකස් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඩමුදල් සංශෝධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව නිරාකරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ විශේෂ මණ්ඩල හා බස් සංගම් නියෝජිතයන් අතර ඊයේ (05) පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු ලේකම්වරයා මේ බව පැවසීය.
නව දඩමුදල් මෝටර් රථ ප්‍රවාහන පනතේ සංශෝධනයකින් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා කමිටුවේ නිර්දේශ නීති කෙටුම්පත් අංශයට යොමු කරන බවත් නිහාල් සෝමවීර මහතා සඳහන් කළේය.
සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජනාධිපති අතිරේක ලේකම්වරයකු ඇතුළු පිරිසක් සහ බස් සංගම් ඇතුළු ප්‍රවාහන සංගම් නියෝජිතයෝ ද එක්වූහ.
මේ අතර දඩ මුදල් සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයකට යටත්ව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස පෞද්ගලික බස් රථ ඇතුළු ප්‍රවාහන සංගම් ඊයේ (05) රැස්වූ දඩ මුදල් ගැටලු නිරාකරණය සඳහා පත් කළ ජනාධිපති මණ්ඩලයට යෝජනා කර තිබේ.
දඩ මුදල් සංශෝධනය වන ආකාරය ප්‍රමාණයන් සහ ප්‍රතිශතයන් මෙන්ම සංශෝධනය වන වැරදි සම්බන්ධයෙන් ද කරුණු ඇතුළත් වන පරිදි මෙම ප්‍රතිපත්තිය සකස් විය යුතු බවට ප්‍රවාහන සංගම් යෝජනා කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසීය.
එමෙන්ම 2500 දඩ මුදල සහ 25,000 දඩ මුදලට ප්‍රවාහන සංගම් විරෝධය පළ කළ බවත් දඩ මුදල් ප්‍රතිපත්තිය මත පමණක් දඩ මුදල් සංශෝධනය සිදුවිය යුතු බවත් එම මණ්ඩලයට යෝජනා කළ බව ද ඒ මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, සීමාසහිත මගී ප්‍රවාහන සමාගම් සම්මේලනය, දකුණු පළාත් බස් රථ හිමියන්ගේ සංගමය, ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් නියෝජිතයෝ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ විශේෂ මණ්ඩලයේ නියෝජිතයෝ එක්වූහ.