FAST NEWS

24×7 Around the Globe

සාකච්ඡාව අසාර්ථකයි – යළි වෛද්‍ය වැඩ වර්ජනයක් ?

සෞඛ්‍ය අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාව අසාර්ථක බැවින් යළිත් ලබන බ්‍රහස්පතින්දා (08) වෛද්‍ය වැඩ වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ‍ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය.

මෙවර අයවැය යෝජනාවලින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සිදුවන අගතියට විරෝධතා දක්වමින් පසුගිය 30 වැනි දා එක්දින වැඩවර්ජනයක් දිවයින පුරා ක්‍රියාත්මක කළ බවත් ඉන් පසුව තම සංගමය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා හා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමග සාච්ඡාවක් පැවැත්වූ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

එහෙත් එම සාකච්ඡා අසාර්ථක බව ඒ මහතා සඳහන් කළ අතර ඒ හේතුවෙන් ඒ පිළිබඳ ජනාධිපතිවරයාට ලිඛිතව දන්වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අහිමි කිරීම, වෘත්තීයවේදීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප, දීමනා හා ප්‍රධාන රැකියාවෙන් පසුව කරන රැකියා සඳහා බදු පැනවීම, දුම්කොළ නිවාරණය සඳහා දුම්කොළ සමාගම්වලින් ජනාධිපති අරමුදලට මුදල් ප්‍රදාන ලබාගැනීම, රෝහල් පෞද්ගලික අංශයට විවෘත කිරීම, මෙරට රැකියා සඳහා පැමිණීමට විදේශිකයන්ට අවසර දීම මගින් එට්කා ගිවිසුම හොර පාරෙන් ක්‍රියාත්මක කිරීම නැවැත්වීම මෙම සංගමයේ ඉල්ලීම් වේ.

මෙම ඉල්ලීම්වලට රජය මගින් සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් වෛද්‍යවරුන් යළිත් වැඩවර්ජන මාලාවක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවත් එය බ්‍රහස්පතින්දා තීරණය කරන බවත් වෛද්‍ය හේරත් මහා අවධාරණය කළේය.