FAST NEWS

24×7 Around the Globe

ඇප හා දඬුවම් ලබාදීම සම්බන්ධ නීති සංශෝධනය කෙරේ…

ඇප හා දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් වූ පවතින නීති සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එක් එක් අධිකරණයන් විසින් මෙන් ම එක් අධිකරණයක් තුළින් යම් යම් අවස්ථාවලදී එකම වරදට ලබාදෙන දඬුවමේ මෙන් ම ඇප ලබාදීමේ දී යම් යම් වෙනස්කම් දක්නට ලැබෙන බවත් ඒ පවතින නීති රාමුව අනුව බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා ඒ හරහා සිදුවන අපහසුතා මඟහැරීමේ අරමුණින් මෙම සංශෝධනයන් සිදු කරන බවත් මාධ්‍යවේදීහු නැඟු පැනයන්ට පිළිතුරු ලබාදෙමින් පැවසීය.

ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී නඩු 100කට ආසන්න ප්‍රමාණයක් තිබුණු බවත් ඒ සඳහා වෙනමම අධිකරණයක් පිහිටුවීම හරහා එම නඩුවලින් 40%ක් පමණ ප්‍රමාණයක් අවසන් කොට ඇති බවත් බරපතල සිද්ධීන් අදාළ නඩු මේ වන විට ඉතිරිවී ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන් ම යම් නඩුවක් සම්බන්ධයෙන් සාක්ෂි නොමැතිවීම, සාක්ෂිකරුවන් මරණයට පත්වීම, ඔවුන් සොයාගැනීමට ඇති අපහසුව වැනි හේතූන්වලදී යම් නඩුවක් ඉල්ලා අස්කරගන්නා බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ත්‍රස්තවාදී නඩුවකට සාක්ෂි එකතුකිරීම ඉතා අමාරු ක්‍රියාවක් බවත් පෙන්වා දුන්නේය.