FAST NEWS

24×7 Around the Globe

හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු 07 කට පැනවු විදෙස් ගමන් තහනම ලිහිල් කෙරේ…

රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලිහිල් කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) තීරණය කළේය.

තම සේවාදායකයන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඒ අනුව විත්තිකරුවන්ට විදෙස් ගමන් යා හැකි බවට තීරණය කළේය.

එසේ වුවද ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයාට හා අල්ලස් කොමිසමට දැනුම්දිය යුතුව ඇති බවද අධිකරණය ප්‍රකාශ කළේය.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රජයට බිලියන 11.4ක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

අදාළ නඩුව යළි පෙබරවාරි මස 13 වන දින කැඳවේ.