FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී, සංවර්ධන කටයුතු වෙනුවෙන් ට්‍රම්ප්ගෙන් සහය ඉල්ලයි…

 

රටේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ උපරිම සහාය ලබාදෙන ලෙස තමා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙතින් ඉල්ලීමක් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) ගාල්ල නගර ශාලාවේ පැවති ගාල්ල දිස්ත්‍රීක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අමතමිනි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවෙන් මේ වන විට ශ්‍රී  ලංකාවට ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇමරිකානු නව ජනාධිපතිවරයා වෙත යොමු කර, විශේෂ නියෝජිතයින් මාර්ගයෙන් සාකච්ඡා පවත්වා, ජාත්‍යන්තර අර්බුදයෙන්  රට නිදහස් කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.

එහිදී ස්ථීරවම ජයග්‍රහණය අත් කරගත හැකි බව තමා විශ්වාස කරන බවත් හෙතෙම කියා සිටියේය.

උතුරේ අන්තවාදයත්, දකුණේ අන්තවාදයත් ප්‍රතික්ෂේප කර රටේ සියලූ ජන කොටස්වලට විශ්වාසයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගිය යුතු බව පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපතිවරයා ලෙස තමා වැඩ කළ යුත්තේ රටේ  සමස්ත ජනතාව වෙනුවෙන් බව ද මෙහිදී කියා සිටියේය.

වංචාව, දූෂණය, අක්‍රමිකතාවය බැහැර කර ජනතාවගේ මුදල් සාක්කුවේ දමා නොගෙන අවංකව වැඩ කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස රටේ සියලූ දෙනාට අලූත් පාඩමක් ඉගැන්වීම අත්‍යාවශ්‍ය වි ඇති බවද පැවසූ ජනාධිපතිවරයා, පසුගිය රජය සමයේ නිල්වලා ගඟ ව්‍යාපෘතිය සදහා යැයි පවසමින් සිදුකළ රුපියල් මිලියන 4012 ක මුදල් අක්‍රමිකතාවයක් පිළිබදවද කරුණු අනාවරණය කළේය.