FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර වංචාව පිළිබඳ ශ්‍රීලනිප කමීටු වාර්තාව ජනපතිට…

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ මධ්‍යම කාරක සභාවේ කමිටුවේ වාර්තාව නිර්දේශ සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ(23) භාර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාධ්‍ය පැවසීය.

නිර්දේශ හයක් සහිතව කිසිවකුට පක්ෂග්‍රාහී නොවන පරිදි ඉතා අවංකව ස්වාධීන ලෙස එම වාර්තාව සකස් කර ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වාර්තාව සකස් කිරීමට කෝප් වාර්තාව සහ විගණන වාර්තාව දැඩි අධ්‍යයනයකට ලක් කර ඇති බවද ආර්ථික විශේෂඥයන්ගේ සහ වෘත්තීය බුද්ධිමතුන් සමග සාකච්ඡා කර වාර්තාව සහ නිර්දේශ සකස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

වාර්තාව සකස් කිරීම සඳහා ජෝන් සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් සහ පිටින් පත් කළ මන්ත්‍රීරුන් ඇතුළුව ඇමැතිවරුන් නව දෙනකු සම්බන්ධ කරගත් බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වාර්තාව සහ වාර්තාවේ සිදුවිය යුතු සංශෝධනයන් පිළිබඳව සහ වාර්තාව මගින් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කටයුතු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභිමතය පරිදි සිදුවෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.