FAST NEWS

24×7 Around the Globe

ගෝඨා සහ කරු අතර සම්බන්ධයක්..! – ආරක්ෂක ලේකම් ඉවත් කරන්නැයි සරත් කියයි..

වත්මන් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චා මහතාව වහාම එම තනතුරින් ඉවත් කළ යුතු බව ඊයේ (21) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පැවසීය.

ආරක්‍ෂක ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව බරපතල ගැටලු පවතින බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද පැමිණිලි කළ බවත් එහිදී මොහු ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් හෙතෙම මෙහිදි අවධාරණය කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සබඳතා පවත්වන බවයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ,” අපේ රටේ ආරක්ෂක ලේකම්වරයෙන් අලුතින් පත්වෙලා ඉන්නවා. මේ දෙවෙනි ආරක්ෂක ලේකම්වරයා අලුත් ආණ්ඩුව යටතේ. පළවෙනියට පත්කරපු ආරක්ෂක ලේකම්වරයා වැඩභාරගෙන මාධ්‍යට ඉස්සෙල්ලම කිව්වේ මොකක්ද , මට ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදය තියෙනවා කියලා තමයි එයා වැඩ පටන්ගත්තේ. අපි එදා ඉඳලා මේකට අප්‍රසාදය පලකළා. ඊට පස්සේ අලුත් ආරක්ෂක ලේකම්වරයෙක් ආවා. එතුමා අර පුද්ගලයාටත් වඩා එහා ගිහිල්ලා. අද මේ සිද්දවෙන දේවල් අනුව අපට පේන්නේ ඔහු පුටුවේ වාඩිවෙලා හිටියට වැඩකරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඔළුව. එහෙම නැත්නම් කොහොමද මේ ඇවන්ගාඩ් වගේ ගණුදෙනුවක් පිළිබඳව මේ කටයුත්ත මේ අකාරයට කල්මරන්නේ. ඒවාට සම්බන්ධ පුද්ගලයෝ කැබිනට් මණ්ඩලයෙත් ඉන්නවා. මේවා ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්ණ. මේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා බරපතළ චරිතයක් කියන එක අපි ප්‍රකාශ කරලා තියෙනවා. ලිඛිතව ජනාධිපතිවරයාට අපි දැනුම් දීලා තියෙනවා. ඔහුගේ බල වයූහය ඇතුලේ සිද්ධවෙලා තියෙන දේවල් මොන විදිහකටවත් අනුමත කරන්න බැහැ. අපි ඇත්ත වශයෙන්ම ඉල්ලා සිටියා මේ ලේකම්වරයා මේ පදවියේ තියන්නට එපා කියලා” යනුවෙනි.