FAST NEWS

24×7 Around the Globe

වත්මන් රජය පසුගිය රජය තරමටම දුෂිත වෙලා – මාධ්‍ය නිදහසත් අර්බුදයක..

වත්මන් රජය පසුගිය රජය තරමටම බැදුම්කර වංචාව, ගල් අගුරු වංචාව මගින් දුෂිතව සිටීන බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමීන් පෙන්වා දෙයි.

එසේම මාධ්‍ය නිදහස, නිදහස් අදහස් දැරීමට හා ක්‍රියාත්මක වීමට තිබු නිදහස මේ වන විට ක්‍රමික අර්බුදයකට ලක්වෙමින් තිබෙන බවද කැෆේ සංවිධානය සිය නිවේදනය මගින් අවධාරණය  කර සිටියි.

එම නිවේදන පහත පරිදි වෙයි,

ජනමාධ්‍ය සම්බන්ධයෙන් මෑතක දී ජනාධිපති, අගමැති හා අධිකරණ අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශ හා චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ දැඩි අවධානය යොමුව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත් හඳුන්වා දී තිබුණේ ‘ටොයිලට් පේපර්ස්‘ ලෙසිනි.  දෙරණ රූපවාහිනී නාලිකාවට එරෙහිව ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරුණු දැක්වීම සදහා කාලයක් ලබාදී ඇත.  අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් දැඩිව විවේචනය කරනු ලැබීය.  

චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් ජාතික රූපවාහිනියට එරෙහිව වෛර ප්‍රකාශයක් සිදු කරනු ලැබ ඇත.  කල්ලි කිහිපයක් විසින් සමාජ ජාලා භාවිත කරමින් ආගමික වියරුව පතුරුවන අසත්‍ය තොරතුරු, වෛර භාෂාව යොදාගනිමින් ප්‍රචාරය කරමින් සිටී.  පිළියන්දල පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් ඇගළුම් ගබඩාවත් තුල ගින්නක් හටගෙන ඇති අතර ජාතිවාදී බලවේග එම සිදුවීම පිටුපස ඇති බවට දැඩි සැකයක් මතුව තිබේ.

යහපාලන රජය විසින් දුෂණ විරෝධී බලවේගය මේ වන විට ලැජ්ජා සහගත පාවාදීමකට ලක් කොට ඇත. හොරු ඇල්ලීම වෙනුවට වත්මන් රජය පසුගිය රජය තරමටම බැදුම්කර වංචාව, ගල් අගුරු වංචාව මගින් දුෂිතව සිටී.

කැෆේ සංවිධානයත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයත් මතුවෙමින් පවත්නා තත්වය පිළිබද දැඩි අවධානය යොමු කරයි.  නැවත වරක් රටේ මාධ්‍ය මර්ධනයක් සදහා මාවත විවර නොකරන ලෙස යහපාලන රජයෙන් ඉල්ලා සිටින අප ජාතිවාදී බලවේග විසින් සිදු කරමින් සිටින ජනතාව උසිගැන්වීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය විසින්  දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.