දැනට සකස් කරමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් නොව ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
විපක්ෂ නායක ආර්. සම්බන්දන් ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝද අගමැතිවරයාගේ අදහස අනුමත කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යටතේ පිහිටුවන ලද අනුකාරක සභා හයේ වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ පෙරේදා (19දා) ඉදිරිපත් කළේය.
මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාව, අධිකරණ අනුකාරක සභාව, මුදල් පිළිබඳ අනුකාරක සභාව, ජාතික හා මහජන ආරක්ෂාව, පොලිසිය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ අනුකාරක සභාව, රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණ අනුකාරක සභාව සහ මධ්‍යම පර්යන්ත අනුකාරක සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව යටතේ පිහිටුවා ඇත.
මෙම වාර්තා හය, පුද්ගලයන්, ස්වාධීන සහ දේශපාලන පක්ෂ හමුවී ලබා ගත් අදහස් හා යෝජනා අනුව අනුකාරක සභා විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන තොරතුරු ඇතුළත් කර සකසා ඇත.
කමිටු වාර්තා ඉදිරිපත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ විධායක ජනාධිපති ධුරය පිළිබඳ විකල්ප තුනක් ඉදිරිපත්ව ඇති බවයි.
ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ අදහස් මත සුදුසු විකල්පය තෝරා ගනු ලබන බව අගමැතිවරයා සඳහන් කළේය.
ලබන ජනවාරි 9, 10 සහ 11 යන දිනයන්හි මෙම වාර්තා හය පිළිබඳ විවාදයක් පාර්ලිමේන්තුවේදී සිදු කෙරෙන බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, පක්ෂ නායකයන්ගේ එකඟත්වය මත අවශ්‍ය නම් විවාද කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අවකාශයක් ඇති බවද පැවැසීය.
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වීම් වාර හතළිහක් මේ දක්වා පවත්වා තිබෙනවා. ව්‍යවස්ථාවේ පළමු වැනි හා දෙවැනි ඡේද වන, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ආගම පිළිබඳව සාකච්ඡා කළා. මෙම ඡේද තවදුරටත් ශක්තිමත් කිරීම මිස, ඒවා වෙනස් කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළ කිසිම පක්ෂයකට බහුතර බලයක් නොතිබීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශක්තිමත් කිරීමට සවියක් වී තිබෙනවා’ අගමැතිවරයා සඳහන් කළේය
‘මෙම මෙහෙයුම් කමිටු සහ අනුකාරක සභා වාර්තා, පාර්ලිමේන්තුවේ විවාද කර පන්සල්, පල්ලි, දේවස්ථාන, කෝවිල් සහ පාසල් මෙන්ම ජනතාව වෙතද වෙබ් අඩවිය හරහා රැගෙන යෑමට සූදානම් වනවා’යි අගමැතිවරයා කීය.