FAST NEWS

24×7 Around the Globe

රුහුණූ සරසවි කැන්ටිමේ කුඩු විකුණා පුද්ගලයෙක් රිමාන්ඩ්..

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන්ට විකිණීම සඳහා රැගෙන එන්නට ඇති බවට සැක කෙරෙන හෙරොයින් කුඩු පැකට් 10ක් සමඟ පුද්ගලයෙකු එම විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවේදී පසුගිය 16 දා අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (17) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කළේ ලබන 25 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමටයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මාතර, කාලිදාස පාරේ පදිංචි අමිල සුරේෂ් කුමාර නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කුඩු ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 470ක ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

මොහු කුඩු පැකට්ටුවක් රුපියල් 3000කට අළෙවි කර ඇති බව පොලීසිය කියයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන්ට මත්කුඩු අළෙවි කරන ජාවාරමක් පිළිබඳව මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගත්බව අධිකරණයට දැනුම්දුන් පොලීසිය විමර්ශන අවසන් නොමැති නිසා ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කොට තිබේ.

අදාළ සැකකරුගේ ඥාතියෙකු එම ආපන ශාලාව පවත්වාගෙන යාමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති බවත් ඒ මුවාවෙන් සැකකරු සරසවියට කුඩු ගෙනවිත් ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.