FAST NEWS

24×7 Around the Globe

සා.පෙළට පෙනී සිටින සිසුන්ට හැදුනුම්පත් දිමේ විශේෂ වැඩසටහන 19 වැනිදා..

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට හැදුනුම්පත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ලබන 19 වන සෙනසුරාදා දිනයේ  ක්‍රියාත්මක කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එ අනුව මේ දක්වා ජාතික හැදුනුම්පත් ලබා නොගත් සිසුන් සඳහා එදින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස් සරත් කුමාර මහතා සඳහන් කළේය.

එක්දින සේවය සඳහා ගාස්තුව රුපියල් දහසක් වන අතර එදිනට පාසල් ඉල්ලුම්කරුවන්ගේ පැමිණීම අනිවාර්ය නොවන බව හෙතෙම පැවසීය.

ඒ අනුව ඔහුගේ හෝ ඇයගේ මව්පියන් හෝ ඥාතීත්වය තහවුරු කළ හැකි පුද්ගලයෙකු ඊට අදාළ ලේඛනයක් හා ඉල්ලුම්කරු බලය පැවරූ ලිපියක් සමඟ පැමිණීම ප්‍රමාණවත් බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර ඉල්ලුම්පත් යොමු කර මේ වන තෙක් හැදුනුම්පත් ලැබී නොමැති ඉල්ලුම්කරුවන්ට සහ හැදුනුම්පත් ලබාගැනීමේදී අඩුපාඩු සහිතව ඉල්ලුම් පත්‍ර යොමු කළ සිසුන්ට ද ලබන සෙනසුරාදා දිනයේ හැදුනුම්පත් ලබාගැනීමට අවස්ථාව උදා වන බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් 0112 86 22 17 සහ 0112 86 22 28 යන දුරකථන අංක ඔස්සේ වැඩිදුර විමසීම් සිදුකළ හැකි බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.