FAST NEWS

24×7 Around the Globe

ජල ගාස්තු ඉහළ නොදැම්මොත් රුපියල් බිලියන 09 ක පාඩුවක්…

ජල ගාස්‌තු සියයට 30 කින් ඉහළ නොදැමුවහොත් ජල සම්පාදන මණ්‌ඩලය ලබන වසර තුළ රුපියල් බිලියන නවයක පාඩුවක්‌ ලබනු ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (16 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේය.

මේ වන තෙක්‌ මහා භාණ්‌ඩාගාරයෙන් නොයෑපුණු ආයතනයක්‌ වන ජල සම්පාදන මණ්‌ඩලයට ගාස්‌තු වැඩි නොකිරීම නිසා අත්විඳීමට සිදුවන පාඩුව සම්බන්ධයෙන් මහා භාණ්‌ඩාගාරයෙන් යම් සහනයක්‌ බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවසීය.

ජල ගාස්‌තු වැඩි වීම සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා පත්කළ අනුකමිටුව මගින් එම ගාස්‌තුව කොපමණ ප්‍රතිශතයකින් අඩු විය යුතුද, කවදා සිට එය ක්‍රියාත්මක කළ යුතුද යන්න දැනුම් දෙනු ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

ජල සම්පාදන මණ්‌ඩලය මගින් ලබාදෙන ජල පහසුකම් හිමිවන පාරිභෝගිකයන් සංඛ්‍යාව ප්‍රතිශතයක්‌ ලෙස රටේ ජනගහනයෙන් සියයට 45 ක්‌ බවත් ඉතිරි සියයට 55 සඳහා ජල පහසුකම් ලබාදීම ද ජල ගාස්‌තු සියයට 30 කින් ඉහළ දැමීමේ අරමුණක්‌ වූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පස්‌ දෙනකුගෙන් යුත් පවුලක සාමාන්‍ය මාසික ජල බිල රුපියල් 310 ක්‌ බවත් සියයට 30 කින් ජල ගාස්‌තු ඉහළ දැමූ විට එය රුපියල් 540 ක්‌ වනු ඇති බවත් ඒ අනුව දිනක සාමාන්‍ය ජල ගාස්‌තුව රුපියල් 18 ක්‌ බවත් ඇමැතිවරයා කීවේය.

කලාපයේ අඩුම ජල ගාස්‌තුවක්‌ අය කරන අපේ රටේ ඒ අනුව ජල ගාස්‌තු සියයට 30 කින් ඉහළ දැමූවත් දෛනික සාමාන්‍ය ජල බිල සඳහා වැය වෙන්නේ බනිස්‌ ගෙඩියකටත් වඩා අඩු මුදලක්‌ බවත් ඇමැතිවරයා සඳහන් කළේය..

කැබිනට්‌ තීරණ දැනුම්දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌වෙමින් රවුෆ් හකීම් ඇමැතිවරයා ඉහත අදහස්‌ ප්‍රකාශ කළේය.