දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන්, මහෙස්‌ත්‍රාත්වරුන් සහ අතිරේක මහෙස්‌ත්‍රාත්වරුන් හැත්තෑ දෙනකු ස්‌ථාන මාරු කිරීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන තිබේ.
ලබන වසරේ (2017) ජනවාරි පළමු වැනිදා සිට මෙම ස්‌ථාන මාරු කිරීම් ක්‍රියාත්මක වේ.
මෙම ස්‌ථාන මාරුකිරීම්වලට අනුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අනුරාධපුර දිසා විනිසුරු ධුරයට පත්කර ඇති අතර අනුරාධපුර අතිරේක දිසා විනිසුරු ලෙස කටයුතු කළ එල්. ආර්. බණ්‌ඩාර මහතා කොළඹ නව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලෙස පත්කර ඇත.
ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා කොළඹ අතිරේක දිසා විනිසුරු ලෙස පත්කර ඇති අතර දැනට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ලෙස කටයුතු කරන මොහොමඩ් මිහාල් මහතා ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් ලෙස නම් කිරීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර ඇත.
හෝමාගම අතිරේක මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතාද කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා ලෙස නම්කර ස්‌ථාන මාරුකර තිබේ.
මෙසේ ස්‌ථාන මාරුවීම ලද විනිසුරුවරුන් අතරට මොරටුව, කඩුවෙල, ගල්කිස්‌ස, පානදුර, පූගොඩ, හලාවත, කුලියාපිටිය, වැලිමඩ, වාරියපොළ, අම්පාර, බද්දේගම, මහියංගණය, මොරවක, අක්‌කරපත්තුව සහ වැල්ලවාය දිසා විනිසුරුවරුන්ද අයත් වන බවද සඳහන් වේ.
බණ්‌ඩාරවෙල, ගම්පහ, ගාල්ල, සියඹලාණ්‌ඩුව, ගල්ගමුව, හෙට්‌ටිපොළ, මහර, මහනුවර, කළුතර, දෙයියන්දර සහ අවිස්‌සාවේල්ල මහෙස්‌ත්‍රාත්වරුන්ටද මේ යටතේ ස්‌ථාන මාරුවීම් ලබාදී තිබේ.
වාර්ෂික ස්‌ථාන මාරු කිරීම් අනුව අධිකරණ සේවා කොමිසම මෙම ස්‌ථාන මාරු සිදුකර ඇත.








