FAST NEWS

24×7 Around the Globe

හිලරි තම පරාජය සම්බන්ධයෙන් FBI ප්‍රධානියාට චෝදනා කරයි…

 

තම මැතිවරණ පරාජයට FBI ප්‍රධානී ජෝන් කොමෙයි වගකිව යුතු බව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් චෝදනා කර තිබේ.

හිලරි ක්ලින්ටන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ කාලයේ සිදුවූයේ යැයි කියන ඊමේල් අවභාවිතයක් සම්බන්ධයෙන් මැතිවරණයට දින කිහිපයක් තිබියදී නව පරීක්ෂණයක් ආරම්භ වීමෙන් සිය මැතිවරණ ව්‍යාපාරයේ පැවති උද්‍යෝගය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බවද ඇය පවසා තිබේ.

හිලරි තම පක්ෂය වෙනුවෙන් මුදල් සම්පාදනය කළ ආධාරකරුවෙකු සමග පැවැත්වූ දුරකථන සංවාදයක් හෙළිවීමෙන්, මෙසේ ඇය FBI ප්‍රධානියා දෝෂදර්ශනයට ලක්කිරීම අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා පවස තිබේ.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමග ඇමෙරිකාවේ ඇතැම් නගරවල හිලරි හිතවාදීන්ගේ උද්ඝෝෂණ තවමත් පැවැත්වෙයි. කෙසේ වෙතත්, ඒවා ආරම්භයෙහි මෙන් විශාල ජන සහභාගීත්වයක් දැකිය නොහැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීමෙන් අමෙරිකාව බෙදී වෙන්වූ රාජ්‍යක් බවට පත්ව ඇති බවට එම විරෝධතාකරුවන් චෝදනා කළත්, ඒවා හුවාදක්වමින් රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කරන ඇමෙරිකානු ඇතැම් මාධ්‍ය විසින්ම රට බෙදා වෙන්කරන බවටද චෝදනා නැගී තිබේ.