FAST NEWS

24×7 Around the Globe

කථානායක කරු ජයසූරිය මහතාට ජපානයෙන් සම්මානයක්…

ජපන් රජය විසින් අන්තර්ජාතික සම්බන්ධතා, සංස්කෘතික ප්‍රවර්ධනය, සුබසාධනය, සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන් තුළින් විශිෂ්ටතම සේවාවක් ඉටු කළ පුද්ගලයන් උදෙසා පුද කරන උසස්ම සම්මානය වන “උදාවන සූර්යයා” ගෞරව සම්මානය කථානායක කරු ජයසූරිය මහතාට පිරිනැමීමට තීරණය කර ඇත.

ශ්‍රී ලාංකිකයකුට මෙම සම්මානය ලැබෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

1875 මෙයිජි අධිරාජ සමයේ ස්ථාපනය කරන ලද මෙම සම්මානය පුද කිරීම එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ජපන් රජය විසින් සිදු කරනුයේ සිය රටෙන් පිරිනමන උසස්තම සම්මාන පිරිනැමීම ලෙසය.

දෙවන ලෝක යුද්ධ සමයට පෙර “නැගී එන සූර්යයා” සම්මානය විශිෂ්ටතම හමුදා නිලධාරීන් උදෙසා පිරිනැමුණු අතර, වර්තමානයේ දී එය අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඇගයීමට ලක් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ජපානය හා ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමෙහි ලා ලබා දුන් දායකත්වය පිළිගැනීමට ලක් කිරිමද මෙහි දී සැලකිල්ලට ලක්ව ඇති අතර, ජපන් රජය විසින් එය නිල වශයෙන් නිවේදනය කෙරුණේ 2016-නොවැම්බර් මස 03 වන දාය.

කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන් හා ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අනුශාසකවරයකු වශයෙන් පාර්ලිමේන්තු දෙක අතර මෙන්ම දෙරට මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් අතර ද හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දැක්වූ එතුමා පාර්ලිමේන්තුව තුළින් පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයට මූලිකත්වය දුන් ආකාරය ද සිහි කරයි.

අද (08) පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවය සඳහා කථානායකවරයා සහභාගි වීමට සිටි අතර, සිය කණිටු දියණියගේ අභාවය හේතුවෙන් ඊට සහභාගි නොවන නමුත්, ඔහු නමින් සම්මානය පිරිනැමීම සිදු වනු ඇත.