FAST NEWS

24×7 Around the Globe

මත් කුඩු පරයා ඉස්මතුවන දේශපාලන මත්පෙත්ත.

අලි මදිවට කොටි කීවා සේ මත් කුඩු මදිවට මත් පෙතිද මෙරටට පැමිණ තිබේ. කොළඹ, නුවර වැනි ප්‍රධාන නගරවල පිහිටි සමාජ ශාලාවල හා මුහුදු වෙරළ ආශ්‍රිතව (බීච් පාර්ටි) පැවැත්වෙන සාදවල මේ මත් පෙති ගන්නා පාරිභෝගිකයෝ ඕනෑ තරම් සිටිති. ‘එක්ස්ටසි’ නමින් ජනප්‍රිය මේ මත් පෙති, දුප්පත් මත් ලෝලීන්ට මිලදී ගත නොහැකිය. ඊට හේතුව එක් පෙත්තක් රුපියල් 2500යේ සිට රුපියල් 6500 දක්වා ඉහළ මිල ගණන්වලට අලෙවි වීම නිසාය. මේ මත් පෙති පරිභෝජනය කිරීමේ (අ) වාසනාව හිමිවන්නේ සල්ලිකාරයන්ට පමණි. විශේෂයෙන් සල්ලිකාර පවුල්වල දූ පුතුන්ටය.

රුපියල් ලක්‍ෂ 1 1/2ක් වටිනා ‘එක්ස්ටසි’ මත් පෙති 48ක් සමඟ පුද්ගලයන් සිවුදෙනකු කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලදී අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ඉකුත් දිනෙක හැකිවිය. කැපීපෙනෙන කාරණය වන්නේ අසුවූ සිවුදෙනා අතර, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ඒජන්සියේ (සෙමා) සම්බන්ධීකරණ ලේකම්වරයකු හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (රහස් පොලිසියේ) නිලධාරියකු සිටීමය. සෙමා සම්බන්ධීකරණ නිලධාරියා ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හිමිනමකගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු බවද දැනගන්නට ඇත. සෙසු පුද්ගලයන් ව්‍යාපාරිකයන් දෙදෙනකුගේ පුත්‍රයන් ලෙසට හඳුනාගෙන තිබේ.

රාජපක්‍ෂ ආණ්ඩු සමයේ ඇරැඹූ ‘මතට තිත’ වැඩපිළිවෙළට සක්‍රිය දායකත්වයක් ලබාදුන් මතට එරෙහිව පෙරමුණ ගත් ‘ජාතික හෙළ උරුමය’ වැනි පක්‍ෂයක ප්‍රබලයකුගේ සමීපයේ මත් පෙති ජාවාරම්කාරයකු සිටීම පුදුමය දනවන්නකි. අනෙක් අතට එය පුදුම විය යුත්තක්ද නොවේ. ඇතැම් දේශපාලනඥයන්, ඔවුන්ගේ පුත්‍රයන් හා සමීපතමයන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රමුඛයන් බව රහසක් නොවන නිසාය. ජාතික හෙළ උරුමයේ හිටපු මන්ත්‍රිවරයා, අදාළ පුද්ගලයා මත් පෙති ජාවාරම්කාරයකු යැයි දැන නොසිටින්නට ඇත. එහෙත් මේ ජාවාරම රහසේ කරගෙන යෑමට ඔහුට ‘හෙළ උරුමය’ හොඳ ආවරණයක් වන්නට ඇතැයි සිතිය හැකිය.‍ෙ

අන්තරායකාරී ඔෟෂධ පාලක මණ්ඩලයේ සභාපති මෑතකදී ප්‍රකාශ කර තිබුණේ, මත්ද්‍රව්‍ය රටට ගෙන ඒම වැළැක්විය නොහැක්කේ දේශපාලනඥයන්ගේ මැදිහත්වීම නිසා බවය. ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හෙවත් වී.අයි.පී. හරහා එන ඇතැම් දේශපාලනඥයන්, ඔවුන්ගේ පුත්‍රයන් මෙරටට මත්ද්‍රව්‍ය රහසේ ගෙන එන බව හෙතෙම අවධාරණය කර තිබිණි. රට පුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහාද ‘ප්‍රභූ නිල රථ’ යොදා ගන්නා බවට ප්‍රබල චෝදනාවකි.

මේ කතා ඇත්ත නම් මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම ඇරැඹිය යුත්තේ ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙනි. මැති – ඇමැතිවරුන්ගේ හා ඔවුන්ගේ සමීපතමයන්ගේ නිල හා නිල නොවන රථ, කාර්යාල, නිවාස වරින් වර පරීක්‍ෂාවට බඳුන් කිරීමද කළ යුතු වේ. රක්‍ෂිත බන්ධනාගාරගත කළ විට රෝහල බලා යෑමට ඉඩ ලැබෙන රටක එවැනි පරීක්‍ෂා සිදුවේ යැයි සිතීම සැක සහිතය.

කෙසේ වුවද දැනට ප්‍රධාන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පැතිර යමින් පවතින මේ ‘මත් පෙති’ ග්‍රාමීය ප්‍රදේශ කරා පැතිර යෑම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. වෙළෙඳපොළ පුළුල් වන විට පෙත්තක මිල පහළ යෑමත්, අඩු මිල නිසා යළි ඉල්ලුම තවත් ඉහළ යෑමත් සිදුවිය හැකිය. මිල අධික මේ ‘එක්ස්ටසි’ මත් පෙති හැරුණු කොට, මානසික රෝගීන්ට නියම කරන ‘පෙති’ මත් වීමට භාවිත කරන බව වාර්තා වී ඇත. මේ තත්ත්වය ඉතා භයානකය. සාමාන්‍ය පුද්ගලයන් මේ පෙති පාවිච්චි කිරීම නිසා මොළයට හානි වන බව වෛද්‍ය මතයයි.

තරුණ පරම්පරාවේ ගත සිත දෙකම විනාශ කරන මත් කුඩු, මත් පෙතිවලට වැට බැඳිය යුතුය. එහෙත් එය සිතන තරම් ලෙහෙසි පහසු නැති බව මත් පෙති තොගයක් සමඟ ඉකුත්දා අල්ලාගත් සිවුදෙනාගේ ‘පැටිකිරිය’ සොයා බැලීමෙන් අවබෝධ කර ගත හැකිය. නීතියේ රැහැනට හසු නොවූ මෙවැන්නන් කොපමණ රටේ ඇත්දැයි දන්නේ දෙවියන් පමණි.

 

මව්බිම