FAST NEWS

24×7 Around the Globe

යාපනය සරසවියේ සියළු කටයුතු යළි ඇරඹේ..

ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ලබාදුන් පොරොන්දු පිළිබදව දැඩි විශ්වාසයක් ඇති බැවින් කිසිදු ප්‍රශ්නයකින් තොරව යාපනය විශ්වවිද්‍යාලයේ සියළු කටයුතු අද (02) සිට පවත්වාගෙන යාමට තීරණය කොට තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ අද (02) එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන් සිසුන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය.

යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියේ සහ ශිෂ්‍ය සංගම්වල නියෝජිතයින් පිරිසක් ඊයේ (01) කොළඹදී ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් හමු වී කළ සාකච්ඡවේදී යාපනය විශ්වවිද්‍යාලය තුළ පැන නැගී ඇති අර්බුද කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කොට එම ගැටළු වලට ජනාධිපතිවරයාගෙන් විසදුම් ලබාගෙන ඇත.

ප්‍රධානතම ගැටලු වී ඇත්තේ පසුගිය මස 20 වැනිදා පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළේයැයි කියන විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය වීමත් මියගිය සිසුන් වෙනුවෙන් වන්දියක් ලබාගැනීමත් යන කාරණාවන්ය.

අද (02) දින පාලනාධිකාරිය සහ සිසුන් අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට සහභාගි වූ එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය එස්. උදයකුමරන් මහතා පවසා ඇත්තේ පාලනාධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කරන බැවින් සිසුන් උද්ඝෝෂණ හා විරෝධතාවල නොයෙදී නිසි පරිදි අධ්‍යයන හා විභාග කටයුතු වල නිරත වන ලෙසයි.

ඊයේ (01) එම සාකච්ඡාවට සහභාගි වූ ශිෂ්‍ය සංගම් නියෝජිතයෝද එම තත්ත්වය පිළිගෙන ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි විසදුම් ලබාදෙනතුරු විශ්වවිද්‍යාලයේ සියළු කටයුතු වලට සහය දීමට ප්‍රතිඥා දී ඇත.