FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු බැඳුම්කර සිද්ධියට එරෙහිව දූෂණ විරෝධියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට..

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදුවී ඇතැයි පවසමින් දූෂණ විරෝධී හඬ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට සූදානම් වෙයි.

එම සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසන්නේ සේවක අර්ථසාධක අරමුදල සෘජුවම මහ බැංකුව සමඟ බැඳුම්කර ආයෝජනය සිදු කරන්න තිබියදී ලාභ ඉපැයීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ එම බැඳුම්කර ආයෝජනය කර ඇති බවත් එම නිසා සේවක අර්ථසාධක අරමුදලට බිලියන 10කට අධික පාඩුවක් සිදුව ඇති බවත්ය.

සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව සම්පූර්ණ වශයෙන් ගණන් බලා නොමැති වුවත් දැනට බිලියන 10කට අධික අලාභයක් සිදුව ඇති බවත් එම කටයුතු නිසියාකාරව සොයා නොබැලීමේ එකම හේතුව මෙය සංවිධානාත්මකව කළ වංචාවක් නිසා බවත් පවසන ඒ මහතා අදාළ ගනුදෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට සිදුවූ අලාභය පියවා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කරන බව පවසයි.

එම පැමිණිල්ලට කෝප් කමිටු වාර්තාවේ තොරතුරු සමඟින් අවශ්‍ය නීතිමය කරුණු මේ වන විට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.