FAST NEWS

24×7 Around the Globe

යාපනයේ සරසවි සිසුහු අද අගමැති,ජනපති හා විපක්ෂනායක හමුවෙති..

ස්වාමිනාදන් අමාත්‍යවරයා ඊයේ (31)  යාපනය විශ්වවිද්‍යාල පාලන අධිකාරිය හා සිසුන් සමඟ කළ සාකච්ඡාවකින් පසුව තීරණය වී ඇත්තේ අද (01) දහවල් 12.30 ට කොළඹදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, විපක්ෂනායකවරයාත් එකවර හමුවීමට සිසුන්ට අවස්ථාව සලසා දීමටයි.

මෙම තීරණයෙන් පසුව සිසුන් විසින් දියත් කොට තිබූ විරෝධතාවය අත්හිටුවා ඇති අතර කොළඹදී පැවැත්වෙන සාකච්ඡාවට යායුතු විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ හා ශිෂ්‍ය කණ්ඩායම්වල නියෝජිතයින් ද මේ වන විට නම්කොට තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් යාපනය විශ්වවිද්‍යාලයට ඇතුලු විය හැකි සියලුම ගේට්ටු වසා දමා ඊයේ (31) උදෑසන විරෝධතා ව්‍යාපාරයක් අරම්භ කළේය.

ඔවුන් කියාසිටින්නේ පසුගිය මස 20 වැනිදා පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළ සිසුන් දෙදෙනා වෙනුවෙන් මෙතෙක් සාධාරණයක් ඉෂ්ඨ වී නොමැති බවයි.

මෙම ද්විත්ව ශිෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ ඉතා ඇල්මැරුණු ස්වරූපයකින් පවතින බවත් විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඉල්ලීම් එකොළහෙන් කිසිදු ඉල්ලීමක් මෙතෙක් ඉටු වී නොමැති බවත් ඒ හේතුවෙන් මෙම විරෝධතාවය ආරම්භ කළ බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.