FAST NEWS

24×7 Around the Globe

වැට් නිදහස් බදු ලැයිස්තුව මෙන්න..

එකතු කළ අගය මත බදු (සංශෝධන) හෙවත් වැට් බදු පනත ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී තුන්වැනි වර කියවා වැඩි ඡන්දයෙන් සම්මත විය.

තුන්වැනි වර කියවීමට පක්ෂව ඡන්ද 76ක් ද විපක්ෂව ඡන්ද 23ක් ද ලැබුණු අතර ඒ අනුව වැඩි ඡන්ද 53කින් පනත සම්මත විය.

නව බදු  සංශෝධන මගින් පාරිභෝගික භාණ්ඩ 74ක බදු ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේදී එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේ පැවැසීය.

එහිදී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සහල්, සීනි, කිරිපිටි, පරිප්පු වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවල බදු ඉවත් කර ඇති බවයි.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ නිවාස ක්ෂේත්‍රය සහ ස්මාර්ට්ෆෝන් වැනි දේවල් ද බදුවලින් නිදහස් කළ බව ද මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

තිරිඟු පිටි, සහල්, සීනි, පරිප්පු, තිරිඟු, කරවල, ටින් මාළු, උම්බලකඩ, කුළු බඩු, පාන්, දියරකිරි, තේ, රබර්, ‍පොල්, ‍පොල්කිරි, ‍පොල්තෙල්, ඉස්සෝ, බිත්තර, කරවල, පලතුරු, එළවළු, අල, හාල්මැස්සන්, රතු ලූනු, සුදු ලූනු, බි ලූනු, මුංඇට, මිරිස්, කව්පි, කඩල, උඳු, කොත්තමල්ලි, රටකජු, ‍පොහොර, ඖෂධ, ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර, ඖෂධ නිපදවන උපකරණ, ඖෂධ ඇසුරුම් උපකරණ, ආයුර්වේද සැකසීම, රෝදපුටු, අත්වාරු, ශ්‍රවණ උපකරණ, සුදු සැරයටි, බ්‍රේල් යන්ත්‍ර, බ්‍රේල් කඩදාසි, කණ්ණාඩි රාමු, කණ්ණාඩි නිපදවීමේ අමුද්‍රව්‍ය, බාහිර රෝගී සේවා, කාන්දු කිරීමේ සේවා හා රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණ, සැත්කම් සේවා, සීසර් සැත්කම්, ගමනා ගමන සේවා, ඩීසල්, භූමිතෙල්, පෙට්‍රල්, ගුවන් යානා තෙල් වේ.

නිෂ්පාදන අදාළ වන වාහන, බවුසර්, කෘෂි කාර්මික බිජ, කෘෂිකාර්මික පැළ, කෘෂිකාර්මික යන්ත්‍ර, ට්‍රැක්ටර්, බේකරි නිෂ්පාදන යන්ත්‍ර, ධීවර උපකරණ, හරිතාගාර ඉදිකිරීම්, වී කෙටීමේ යන්ත්‍ර, කිරි සැකසීමේ යන්ත්‍ර, විදුලිය, සූර්ය බලය, විදුලිය ආරක්ෂා කිරීමේ බල්බ්, පරිගණක උපාංග, අධ්‍යාපන සේවා, පරිගණක මෘදුකාංග, ක්‍රීඩා උපකරණ, ජීවිත රක්ෂණ, මුද්‍රිත ‍පොත්, ජංගම දුරකථන, මැණික්, මුතු, දියමන්ති, රත්තරන්, ප්ලැටිනම්, පුස්තකාල සේවා, නිවාස ඉඩ පහසුකම් කුලියට හෝ බද්දට දීම වැනි භාණ්ඩ හා සේවාවන් වැට් බදු වැඩිවිමේදී අදාළ නොවේ.

මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එකතු කළ අගය අනුව බදු සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේ කුඩා ව්‍යාපාරවලට සිදුවන හානිය අවම කර ඇති බවයි.

එහි පාඩුව ආණ්ඩුව දරාගන්නා බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මුදල් අමාත්‍යවරයා මේ විවාදයේදී තවදුරටත් පැවසුවේ හැකි ඉක්මනින් මෙම බදු අඩු කර ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.