FAST NEWS

24×7 Around the Globe

සී.එස්‌.එන්. බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව අධිකරණයට…

විකාශන බලපත්‍රයේ සඳහන් වගන්ති උල්ලංඝනය කළ බවට කිසිදු පරීක්‍ෂණයක්‌ සිදු නොකර සී.එස්‌.එන්. නාලිකාවට ලබාදී තිබූ රූපවාහිනි විකාශන බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධයෙන් තමා අධිකරණය ඉදිරියට යන බව එහි සභාපති රොහාන් වැලිවිට මහතා බත්තරමුල්ල සී.එස්‌.එන්. ආයතනයේ ඊයේ (25 දා) පස්‌වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

සී.එස්‌.එන්. නාලිකාවට ලබාදී තිබූ රූපවාහිනි විකාශන බලපත්‍රය අවලංගු කළ බවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපිය ලැබුණේ ඊයේ (25 දා) පෙරවරු 10.10 ට පමණ බවත් එම ලිපිය අප ආයතනයට ලැබීමට සැලැස්‌වූයේ අමාත්‍යාංශ ඉහළ නිලධාරියකු සියලුම මාධ්‍ය වෙත මේ පිළිබඳ දුරකථන මගින් දැනුම් දී මාධ්‍ය සංදර්ශනයක්‌ පවත්වා බවත් ඒ මහතා සඳහන් කළේය.

විකාශන බලපත්‍රයේ සඳහන් වගන්ති උල්ලංඝනය කරමින් සී.එස්‌.එන්. නාලිකාව පවත්වාගෙන යන බවට පැවැති පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියේ සඳහන්ව ඇතත් එවැනි කිසිදු පරීක්‍ෂණයක්‌ සඳහා කැඳවා නැති බවත් වාචිකව හෝ ලිතව දැනුම්දීමක්‌ කර පරීක්‍ෂණයක්‌ සිදුකර නැති බවත් වැලිවිට මහතා පැවසීය.